මෙතෙක් වර්ෂයකට අය කළ රුපියල් 3 ක් වූ පාසල් සංවර්ධන සමිතියේ සාමාජික ගාස්තු මුදල 2014 වර්ෂයේ සිට රුපියල් 600 ක් දක්වා ඉහළ අගයක් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය බලයක් පාසල්වලට ලබාදී ඇති බවත්, මේ නිසා දෙමාපියන් දැඩි අසරණ තත්ත්වයකට පත්වන නිසා වහාම මෙම තීරණය වෙනස් කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව ලංකා සංගමය සඳහන් කරයි.
1982/2 දරන පාසල් සංවර්ධන සමිති චක්‍රලේඛයට අනුව පාසල් සංවර්ධන සමිති සාමාජික ගාස්තු ලෙස අයකර ගත හැක්කේ වසරකට රුපියල් 3 ක් බව දන්වා තිබෙන බවත්, මෙතෙක් අයකරනු ලැබුවේ අදාළ චක්‍රලේඛයේ සඳහන් සාමාජික මුදල පමණක් බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
එහෙත් වර්තමාන අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා විසින් නිකුත් කළ 07/2013 චක්‍රලේඛය මගින් රුපියල් 03 ක මුදල රුපියල් 50 සිට රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඉන් සුදුසු මුදලක් අයකර ගැනීමට බලය ලබා දී තිබෙන බවත්, මේ නිසා මේ වසරේ සිට සෑම දෙමාපියෙකුටම සංවර්ධන සමිති ගාස්තු වශයෙන් රුපියල් 600 ක මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් ඔහු පවසා සිටියේය. මෙම මුදල දුෂ්කර පාසල්වල මවුපියන්ට දැරිය නොහැකි බරක් බවද මෙම මුදලට අමතරව ආරක්ෂක, පහසුකම් ගාස්තු,නඩත්තු ආදී ගාස්තු එකතුව රැපියල් දහස් ගණනක් ගෙවීමට සිදුවන බවද ලේකම්වරයා සඳහන් කළේය.