පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා තවත් මාසයකටත් වඩා වැඩි කාලයක් ගතවන බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් 'අද' පුවත්පතට වාර්තාවේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර කිසිදු අයුරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සූදානම් නොවීම නිසා මෙම කාලය ගතවන බව වාර්තා වේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතය සිදුවන තෙක් ගෙනඒමට ඉඩ නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර ඇතැයි ද වාර්තාවේ. මේ පිළිබඳව ජනාධිපතිවරයා අගමැතිවරයාට සහතික කර ඇති බවද වාර්තාවේ.
මේ අතර, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් අද (12දා) උදෑසන 9.00ට පැවැත්වීමට ද නියමිතය.
පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 225 ක් ලෙසම පැවතියදී කොට්ඨාස ක්‍රමයෙන් තෝරා ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව මත ගැටුමක් නිර්මාණය වී ඇති නිසා ඒ පිළිබඳව අද දිනයේ දී එකඟතාවකට පැමිණීමට හැකි වුවහොත් හා යම් සංශෝධන වෙත් නම් ඒවාටද කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව එය අද දිනයේ දීම ගැසට් කිරීමට නියමිතව තිබේ.
නීති විශාරදයන්ගේ මතය අනුව නව ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී අවසන් එකඟතාවකට පැමිණියද එය ගැසට් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ සම්මත වීමට අවම වශයෙන් මාසයක පමණ කාලයක් ගත වේ. නව ව්‍යවස්ථා සංශෝධනය ගැසට්පත්රය මගින් නිකුත් වූ පසු එය මහජන අදහස් විමසීමට ලක් කිරීමට දින 7ක පමණ කාලයක් ගතවන අතර ඉන්පසු තවත් දෙසතියක පමණ කාලයක් තුළ කාරක සභා සාකච්ඡා ආදියට ගත කිරීමට ඇති අතර තවත් සතියක පමණ කාලයක් අදාළ අවසන් එකඟතාවලට පැමිණීමට හා එය සම්මත කිරීම දක්වා වූ ක්‍රියාපටිපාටියට ගතවන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් අද දිනයේ දීත් 20 වැනි සංශෝධනය සඳහා අවසන් එකඟතාවකට පැමිණීම කල් ගියහොත් එය සම්මත කිරීමේ දිනය තවදුරටත් කල් යනු ඇති බවද නීති විශාරදයෝ පෙන්වා දෙති.