“මේ පාර්ලිමේන්තුව එකම ශෝකාලාපයක්. ශෝක යෝජනා පමණක් කතා කරන පාර්ලිමේන්තුවක් බවට පත් වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් අපි අහන්නේ තවදුරටත් මේ පාර්ලිමේන්තුව පවත්වන් යන්නේ මොකටද කියායි. පල් වෙච්චි, ඔද්දල් වෙච්ච ආණ්ඩුවක්, එක තැනක නතර වෙච්ච රටක් ඇති වෙලා තිබෙනවා. ඒ වෙනුවට ජනතාවට අලුත් අවස්ථාවක් ලබාදිය යුතුයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ අවධාරණය කළේ අද (18දා) එම පක්ෂය සංවිධානය කළ ජනවරමට ගරු කරනු - දුන් පොරොන්දු ඉටු කරනු උද්ඝෝෂණ පාගමන අවසානයේ පැවති ජනහමුවේදීය..
පුංචි බොරැල්ල මංසන්ධියේ සිට පාගමන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ළඟා වූයේ අලුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට ජනතාවට අවස්ථාව දෙන ලෙස අවධාරණය කෙරෙන සටන් පාඨ පවසමිනි.
"ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වට්ටන්න ධෛර්යය, වීර්යය, සැපයූ මහා ජනකායක් දැන් මෙතන ඉන්නේ. රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැට්ටුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ හෝ රනිල් වික්‍රමසිංහට අගමැති පුටුවේ තැප තැප ඉන්න නොවෙයි. වංචනිකයන්, ඝාතකයන්ට දඬුවම් දීමයි ජනතා අපේක්ෂාව. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළවුන් නිදැල්ලේ.
එක්නැලිගොඩ අතුරුදන් කළවුන් නිදැල්ලේ. ලලිත් කූගන් පැහැර ගත් අය නිදැල්ලේ. මාධ්‍යවේදීන්ගේ අතපය කැඩූ, සුදු වෑන් දමා පැහැර ගැනීම් කළ බන්ධානාගාරයේ ඝාතන කළ අය නිදැල්ලේ. මෛත්‍රීපාල මහතා රජ පුටුවේ වාඩි කළේ වැරදිකරුවන් නිදැල්ලේ හරින්න නොවේ. අධිවේගයෙන් කොමිස් ගැසූ ප්‍රේමසිරි, ගාමිණී සෙනරත්, බන්දු,ශිරන්ති, තාජුඩීන් ඝාතනය කළ යෝෂිත රාජපක්ෂ, විනිමය කොමිෂන් සභාවෙන් කොමිස් ගත් නාමල් රාජපක්ෂ, එයා ලංකා ගිලපු ශිරන්තිගේ අයියා, ගුවන් යානා වලින් වංචා කළ,ශිරන්ති රාජපක්ෂගේ නෑයා, යුක්රේන කැරලිකරුවන්ට උදව් දුන් ශිරන්තිගේ ඥාතියා,දිවි නැගුමෙන් හොර කෑ බැසිල් රාජපක්ෂ,මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම වෙනුවෙන් එල්.ටී.ටී.ඊ.යට සල්ලි දුන් මහින්ද රාජපක්ෂ එළියේ. පවුලටත් පවුලේ කල්ලියටත් දඬුවම් නැහැ.
ආර්ථිකයේ කෙළ පැමිණ කප්පිත්තා වගේ රනිල් වික්‍රමසිංහ පම්පෝරි ගැහුවා. නමුත් ඉතිහාසයේ පළමු වතාවට ඩොලරය රුපියල් 140ක් වෙලා. අගමැතිවරයා කිව්වට ඉස්සර පවුලේ සාක්කු පිරිලා. දැන් ජනතාවගේ සාක්කු පිරිලා කියා එය එහෙම නැහැ. ආර්ථිකය ගැන රනිල්ට දැක්මක් නැහැ. එදා ව්‍යවස්ථා,නීති සංශෝධන ගෙන බව කිව්වට දැන් රට අරාජික වෙලා. රවීට,ගයන්තට,ජෝන්ට කැබිනට් එකේ ඉඳන් රට පාලනය කරන්නට අයිතියක් නැහැ. කථානායකවරයා කීවා මේ පාර්ලිමේන්තුව ගෙනියන්න බැහැ කියා. නිමල් සිරිපාලට විපක්ෂ නායක ලෙස ඉන්නත් අයිතියක් නැහැ.මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනතාවට අලුත් පාර්ලිමේන්තුවක් දෙනවා කී කාලයට අනුව හරිනම් මෙවෙද්දි හත් අට සැරයක් පාර්ලිමේන්තුව විසුරුවා" යැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කීය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු