රාජපක්ෂ රෙජීමය නැවත බලයට පැමිණියහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ යනාදීන් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට අතුරුදන් වීමට සිදුවනු ඇතැයි තමන් අවධාරණයෙන් පවසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ධුරයේ වැඩ බාරගැනීමේ අවස්ථාව සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (24දා) එක්වෙමිනි.
නැවත හමුදා පාලනයක් ළඟා නොකිරීම රජයේ අරමුණ වන බව එහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, රාජපක්ෂ රෙජීමය ඇති කිරීම සඳහා සහාය දුන් හමුදා නිලධාරීන් පොහොට්ටුවේ අලුත් මුහුණු බවට පත්ව ඇති බවත්, එසේම ඔවුන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී කෑ ගසන උදවිය පඹයන් ගණනට පත්ව ඇති බවත් පෙන්වා දුන්නේය.
ඒ අනුව රටට අවශ්‍ය වන්නේ 'රාජපක්ෂ රෙජිමය-2' ද, නොඑසේනම් ප්‍රජාතන්ත්‍රවාදයද යන්න පිළිබඳ ජනතාව තීරණය කළ යුතු බව කීවික්රමසිංහ මහතා, රටක් දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතු බවද පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
"අද පොහොට්ටුවට තියෙන අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කණ්ඩායමක් පමණයි. පාර්ලිමේන්තුවේ ඝෝෂා කරන මන්ත්‍රීවරයෙකුගේ මුහුණක් එක්ක පෝස්ටරයක්වත් තියෙනවාද? නෑ! ඔක්කොම ඉන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්. රාජපක්ෂ රෙජීමය එදා ඇතිකරන්න සහාය දුන්නු හමුදා නිලධාරීන් තමයි පොහොට්ටුවට එක්වී සිටින අලූත් මුහුණු. පාර්ලිමේන්තුවේ කෑ ගහන උදවිය මේ හමුදා නිලධාරීන්ගේ පඹයන් ගාණට පත් වෙලා.ඔවුන්ගෙන් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් වුණා.
මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණයහොත් අතුරුදන් වන්නට සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි. මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනී පළ කරන්නේ නැහැ. එහි ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනයක් ළඟා නොකිරීම අපේ අරමුණයි. ඔවුන් වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම්ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමයක් ඇතිකිරීමයි. එය'රාජපක්ෂ රෙජීමය 2' ලෙස හඳුන්වාදිය හැකියි. ඔබට ප්රජාතන්ත්රවාදය අවශ්‍යද? 'රාජපක්ෂ රෙජීමය 2' අවශ්‍යද කියා තීරණය කරන්න"යැයිද සඳහන් කළේය.