කොළඹ අවට ප්‍රදේශවලට තවදුරටත් පැය කිහිපයක් එක දිගට වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයේද යටවීමේ අවදානමක් පවතින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
මෙම අවදානම පිළිබඳව තමා කතානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බවත් කාතානායකවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් බස්නාහිර සහ මහ නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
පාර්ලිමේන්තු පරිශ්‍රය පමණක් නොව ඒ අවට පිහිටි නිවාස කිහිපයකට ද මෙම අවදානම පවතින බව ඇමතිවරයා කීවේය.
පාර්ලිමේන්තු සංකීර්ණය වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටම මේ වනවිට සීඝ්‍ර‘යෙන් ඉහළගොස් ඇති බවත් තවදුරටත් එක දිගට පැය කිහිපයක් වැසි ඇති වුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානම පවතින බවත් ඇමති රණවක මහතා කීය.
දියවන්නා එයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් ඇතිවන අවදානම අවම කර ගැනීම සඳහා වැලිකොට්ට ගැසීමට සිදුවන බව කී ඇමැතිවරයා ඒ සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද පාර්ලිමේන්තු පරිශ්‍ර‘යේ සිටින බව කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරියෙකු පවැසුවේ එවැනි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට සියලු දේ සූදානම් කර තිබෙන බවයි.
දියවන්නා ඔයේ ජල මට්ටම පිලිබඳව නිරන්තර විමසිල්ලෙන් සිටීමට විශේෂ කණ්ඩායමක් යෙදවූ බවද එම නිලධාරියා කීවේය.
දියවන්නා ඔයේ ජල මට්ටම ගැන නාවික අංශ නිලධාරීහුද අවධානයෙන් පසුවෙති.
ගංවතුර සමඟ දියවන්නා ඔයේ කිඹුල් බියක් ද ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
ලංකාදීප ඇසුරෙනි (අජන්ත කුමාර අඟලකඩ/සුජිත් හේවාජුලිගේ/ආරියරත්න රණබාහු)