රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(20දා) පැවසීය.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මූලික මිනිස් අයිතිවාසිකම්වලට පටහැණි බවත්,මෙම පනත හකුළාගන්නා ලෙස සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්සූදානමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
“මෙම පනත තුළින් පාර්ලිමේන්තුව හා මුදල් ඇමතිවරයා සතු බලය අගමැතිවරයා විසින් උදුරා ගන්න හදනවා. ශ්‍රී ලංකා මහ බැංකුව භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍යවරයාට තමන්ට අභිමතාර්ථාකාරයට නොපියවූ ණයවලින් සියයට දහයක ප්‍රමාණයක් කැමැති ආකාරයට, කැමැති කොන්දේසියක් යටතේ ලබාගැනීමට හැකියාව ලැබෙනවා. එසේ ලබාගැනීමේදී යම් ප්‍රශ්නයක් ඇතිවුවහොත් සිවිල් නඩුවක් හෝ අපරාද නඩුවක් පවරන්න නොහැකි ආකාරයේ පනතක්. ඒ නිසා මෙවැනි පනතක් සම්මත වුණොත් පාර්ලිමේන්තුවෙන් වැඩක් නැති වෙනවා.
පාර්ලිමේන්තුව තුළ සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත සම්මතවෙන්න මහින්ද රාජපජෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අපි ඉඩ දෙන්නේ නැහැ. මෙම පනත හකුළාගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් ලබාදෙනවා. එමගිනුත් විසඳුමක් ලැබුණේ නැත්නම් මෙයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරනවා. අපි එමගින් හෝ පිළිසරණක් බලාපොරොත්තු වෙනවා" යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.