පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ, කොරිඩෝවේසහ ලොබියේදී ඇති වූ ගුටිබැට හුවමාරු පිළිබඳ කෙටි ඉතිහාසය අද (04දා) සවස මරදානේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.
1. පිලිප් ගුණවර්ධන මහතා සර් ජෝන් කොතලාවල මහතාට පාර්ලිමේන්තුවේ කොරිඩෝවේදී සිදුකළ පහරදීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර සිදු වූ පළමු ගුටිබැට හුවමාරුවයි.
2. 1956 ආණ්ඩුවේ මැද කොළඹ තුන්වැනි මන්ත්‍රී ඇම්.ඇස්.තේමිස් මහතා සර් ජෝන් කොතලාවල මහතාට %‘හලෝ ජෝන්‘^යැයි ඇමතීමෙන් පසුව ඔහුට පහරදීමට කොතලාවල මහතා ඔහු බිත්තියට හේත්තුකොට ඇත. මේ ගැන බණ්ඩාරනායක මහතා පවසා ඇත්තේ “මමත් ජොන්ට කතා කරන්නේ සර් ජෝන් කියලයි. හලෝ ජෝන් කිව්වාම නොගහ ඉඳීද?” (කෙසේ නමුත් තමන්ට සර් ජෝන් පහර නොදුන් බව තේමිස් මහතා ඉතා මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කොට තිබිණි)
3. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වෙන අතරතුර ඩඩ්ලි සේනානායක මහතා විසින් මෛත්‍රීපාල සේනානායක මහතාට පහරදීමට උත්සාහ දරා තිබේ. ඩඩ්ලි සේනානායක මහතා කතා කරමින් සිටින අතර මෛත්‍රීපාල සේනානායක මහතා අසා ඇත්තේ Who? (ඒ කවුද?) කියාය. නමුත් එය ඩඩ්ලිට ඇසී ඇත්තේ YOU (ඔබ) කියාය. සාමාන්‍යයෙන් ඉතා නිහඬ පුද්ගයෙකු වූ ඩඩ්ලි තමන්ට ඇසුණු දේ වැරදියට වටහාගැනීමෙන් කෝප වූ නිසා මෙම සිදුවීම සිදුවූ අතර ඉලංගරත්න මහතා වැනි කිහිපදෙනෙකු සිද්ධිය වළක්වාගෙන ඇත.
4. 1965-70 ආණ්ඩු සමයේ වලපනේ මන්ත්‍රී පී.බී.එම්.හේරත් හා රඹුක්කන මන්ත්‍රී සමාජ සේවා අමාත්‍ය අශෝක කරුණාරත්න අතර කුල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදු විය. සභා ගර්භයෙන් පිටතට පැමිණෙන තෙක් රැක සිටි හැඩිදැඩි අශෝක කරුණාරත්න මහතා ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙකු වූ හේරත් මහතාට සැඟවෙන තෙක් පන්න පන්නා පහරදුන්නේය.
5. 1974 දී සෞඛ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.පී.ජී. ආරියදාස මහතාට කර්මාන්ත අමාත්‍ය එස්.කේ.කේ. සූරියආරච්චි මහතා විසින් පහරදීමක් සිදු විය. එකම ආණ්ඩුවේ අමත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ගුටි ඇනගත් පළමු අවස්ථාව මෙය යි.
6. වාසුදේව නානායක්කාර මහතාට ගාමිණී ලොකුගේ මහතාඇතුළු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවේදී පහරදෙනු ලැබුවේ වාසුදේව මහතාසෙංකෝලය ඔසවාගෙන යාමට උත්සාහ දැරීමේදීය. 2003-2004 දී එම ප්‍රහාරයට සම්බන්ධ වූ කිහිප දෙනෙකුම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
7. මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ජාතික හෙළ උරුමයේ කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ ලිංගික අවයව මිරිකා පහරදෙනු ලැබුවේය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ බලවත්ම ප්‍රචණ්ඩක්‍රියාව එය විය.
8. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතාට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් 2016 මැයි 03වැනි දින පහරදීම හා පාලිත තෙවරප්පෙරුම මහතා සම්බන්ධ වූ ගුටි හුවමාරුව ලංකාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකුගේ ලේ සෙලවීම සිදුකළ පළමු අවස්ථාව යි.