ඉදිරි වසර පහක කාලය තුළදී රට තුළ වස විසෙන් තොර වී වගාවක් ඇති කිරීම සඳහා පසුගිය මාස් කන්නයේදී ගොවීන් හරහා ආරම්භ කළ පාරම්පරික වී වගාවේ අස්වැන්න මිලදී ගැනීමට රජය කිසිදු වැඩපිළිවෙළක් දියත් නොකිරීම නිසා පාරම්පරික වී වගා කළ සමස්ත ගොවි ජනතාවගේම අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වී තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
පළමු අදියර ලෙස පාරම්පරික වී වගාව පසුගිය මාස් කන්නයේදී ආරම්භ කළ අතර, එහිදී ගොවීන් වගා කරන පාරම්පරික වී වලින් ලැබෙන අස්වැන්න රජය මිලදී ගෙන ආසන්න වගා කන්නයේදී වගා කිරීමට අනෙකුත් ගොවීන්ට බිත්තර වී වශයෙන් ලබාදීමට පොරොන්දු ලබාදී තිබූ බවද එම සංගමයේ ජාතික සංවිධානය පළාත් සභා මන්ත්රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
එහෙත් ගොවීන්ගේ වී අස්වැන්න රජයේ සහතික මිල යටතේ හෝ වෙන මොනයම් හෝ ආකාරයකට මිලදී ගැනීම සිදුනොකරන බැවින් 2020 දී රට තුළ වස විසෙන් තොර වී වගාවක් ඇතිකිරීමට සිදුකළ ආරම්භය මේ වනවිට කඩාකප්පල් වී තිබෙන බවද පවසා සිටියේය. ඒ නිසා කෘෂි රසායනික භාවිත නොකර සකස් කළ පාරම්පරික වී අස්වැන්න පෞද්ගලික වෙළෙඳුන්ට රුපියල් 25 ට 30 ට ලබාදීමට සිදුව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.