පාර සුද්ධ කරලා ඉවරවෙලා පෙළපාලි තිබ්බ පිට්ටනි සුද්ධ කරන්න යන්න තියෙනවා
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබුණේ ඊයේ (01දා) දිනටය. ලංකාවේ දේශපාලන පක්ෂ කම්කරු දිනයේදී සිය පක්ෂ සමුළු පැවැත්වූයේ වැඩකරන ජනතාව සුපුරුදු ලෙස වැඩ කරද්දීමය. කම්කරු ජනතාව වෙනුවෙන් වෙන්වූ එකම දිනයද අද ඔවුන්ට අයිති නැත.
දේශපාලකයන් මැයි දිනයට සිය පිට්ටනි ඔළුගෙඩිවලින් පුරවන්නට අවුරුද්දේ මුල සිටම සැලසුම් කරනවා විනා රටට යමක් කරන්නට උවමනාවක්ද නැත. මන්ද ඡන්දය හෙටයි කියා අද බෙදන තහඩු කෑල්ලට සහ පිටි පැකැට්ටුවට මෙරට ජනතාවගේ සිත් නම්මවා ගතහැකි අපූර් බලයක් තිබෙන බව දේශපාලඥ‘යෝ හොඳින්ම දනිති.
මැයි දිනයේද ඔවුන් සිදුකරන්නේ තම රැලියට පැමිණි පිරිස ගැන උදම් ඇනීමත්, ලොකුම රැලිය පැවැත්වීමට කවුද යන්න හෙවීමත්, විරුද්ධවාදීන්ට මඩගසා ගැනීමත් පමණි. රටේත්, ජනතාවගේත් ප්‍රගමණය වෙනුවෙන් ඔවුන් ළඟ ඇති ප්‍රතිපත්ති මොනවාදැයි කියා කියන්නට ඔවුන්ගේ දිව නොනැමෙන්නේ එවන් ප්‍රතිපත්ති අද දේශපාලඥයන්ට නොමැති නිසා බව සක්සුදක් සේ පැහැදිලිය.
ඊයේ දිනට යෙදුණු මේ සියලු සන්දර්ශන මධ්‍යයේ අප වැඩකරන ජනතාවගේ දිනය අහිමි වූ වැඩකරන පිරිසක් සොයාගිය ගමනේදී ඔවුන් අපට පවසන කතා මෙසේය.
'කම්කරු රැලිවලටම ගියා කියලා අපට වැඩක් නැහැ. අද කන්න ඕනෙ නිසා අදත් වැඩ.'
ඒ. ජිනදාස,
සාමාන්‍යයෙන් අපි උදේ පහමාරට විතර තමයි වැඩට එන්නෙ. හවස පහ විතර වෙනකම් පාර සුද්ධ කරනවා. අදත් දවල් දෙක විතර වෙනකල් වැඩ. මැයි දිනයක් තිබ්බා කියලා අපට විශේෂයක් නැහැ මහත්තයෝ. අද කන්න ඕන නම් වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ වෙනකන් එක එක ආණ්ඩු මැයි රැලි තිව්වා කියලා අපට මොනවාද ලැබිලා තියෙන්නෙ.
දැන් මට අවුරුදු 5 ක් විතර වෙනවා. අවුරුදු 06ක විතර ඉඳලා මේ රස්සාව කරන්නෙ. දැන් වැඩ කරන්න ටිකක් අමාරුයි. එත් ජීවත් වෙන්න ඕනනෙ. ලබන අවුරුද්දෙ අර්ථ සාධකේ අරගන්නයි හිතාගෙන හිටියෙ. ඒත් අයිඩින්ටිය නැති නිසා ඒකත් ගන්න විදියක් නැහැ. සුනාමියට ඔක්කොම දේවල් නැතිවුණා. රැලිවලට ගියා කියලා අපට ලැබෙන දෙයක් නැහැ. දැන් වැඩ ඉවර කරලා ගෙදර යනවා.
'අදත් පෙළපාළි තියෙන පිට්ටනි සුද්ධ කරන්න යනවා'
වින්සන්,
මැයි පළමු වැනිදා කියලා විශේෂත්වයක් නැහැ. අද වැඩ කළොත් තමයි පවුලේ බඩගිනි නිවෙන්නෙ. අදත් මෙතැන වැඩ ටික ඉවර කරලා පෙළපාළි තියෙන පිට්ටනි සුද්ධ කරන්න යන්න තියෙනවා. අද වැඩ කළා කියලවත්, පිට්ටනි සුද්ධ කළා කියලාවත් විශේෂයෙන් ගෙවන්නෙ නැහැ. කම්කරු දින සමරන්නෙ දේශපාලන පක්ෂ මිසක් අපි නොවෙයි. අපට මේක තවත් එක දවසක් විතරයි.
'කම්කරු දින කියන ඒවා අපට අයිති නැහැනෙ'
සෝමා ජයනෙති,
මම අවුරුදු 12ක ඉඳන් මේ රස්සාව කරනවා. පවුලේ 06 දෙනෙක් ඉන්නවා. දරුවො බැඳලා ගියාට පස්සෙ මමයි, මගේ මහත්තයයි, මල්ලීයි. මහත්තයා බොහොම අසනීපෙන් ඉන්නෙ. මල්ලිත් ආබාධිත නිසා මමයි මේ රස්සාව කරලා එයාලව ජීවත් කරවන්නෙ.
මට අවුරුදු 57ක් වෙනවා. ඒ කාලෙට ජීවිතේ ලොකුවට සතුටු වෙන්න පුළුවන් දේවල් නැහැ. ලොකු බලාපොරොත්තුත් නැහැ. දැන් වැඩ ඉවර කරලා ගෙදර යනවා, ගෙදර අයට රෑට කන්න උයන්න. කම්කරු දින කියන ඒවා අපට අයිති නැහැනෙ.
'මේක අපිට තවත් එක දවසක් විතරයි'
නිමල්,
අද මැයි පළමු වැනිදා කියලා දන්නවා. ඒක ඉතින් අපට තවත් එක දවසක් විතරයි. අද වැඩ කළා කියලා විශේෂයෙන් ගෙවන්නෙත් නැහැ. වෙනදා ගෙවන ගාණම තමයි ලැබෙන්නෙ. උදේ හයට වැඩ පටන් ගත්තාම හවස හය වෙනකම්ම පාරෙ තමයි.
මේ රස්සාවේදී අසනීපයකදීත් නිවාඩු ගන්න එක ලේසි දෙයක් නෙවෙයි. මට පුතෙක් ඉන්නවා. එයාව ඉස්කෝලෙ යවන්න ඕනෙ. නෝනට පිළිකාවක්. එයත් බොහොම අමාරු තත්ත්වයකයි ඉන්නෙ. ඒත් මට ජීවිතේට තියෙන එකම සැනසීමත් ඒ දෙන්නා විතරයි.
ඔහුට පවසන්නට හැකිවූයේ එපමණකි. නිමල් එතැන් සිට සංවේදී වූයේ අපගේ ගමනේ නිමාවට කඳුළක්ද එක්කරමිනි.
ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

