බිලියන 1.2 ක් වන කතෝලික ජනතාවගේ එඬේරාණන් වන අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් 2015 ජනවාරි මස 13 වැනි දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට සැපත්වීමට නියමිත බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කර සිටියහ.
266 වැනි පාප්තුමන් පිළිගැනීමට රාජ්‍ය උත්සවයක් එදින උදෑසන 9.00 ට ගුවන්තොටුපොළේදී සංවිධානය කර ඇති බවත්, ඉන් පසු උන්වහන්සේ විවෘත රථයක නැගී කොළඹ මීගමු මාර්ගය ඔස්සේ කොළඹ අගරදගුරු මැදුරට පැමිණීමට නියමිත බවත්, කාදිනල්තුමා පවසා සිටියහ.
එදින සවස ජනාධිපති මැදුරේදී විශේෂ හමුවක්ද, එහිදී සමරු මුද්දරයක් නිකුත් කිරීමටත් නියමිතය. එදිනම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සර්ව ආගමික නායකවරුන් හමුවීමටද නියමිත බවද කාදිනල්තුමා දන්වා සිටියහ.
ජනවාරි 14 වැනිදා දින උදෑසන 7.30 ගාලුමුවදොර පිටියේදී විවෘත රථයකින් පාප්තුමන් ජනතාව වෙත පැමිණීමට නියමිත බවත්, එහිදී දිව්යපූජාවක් පැවැත්වීමට නියමිත බවත් සඳහන් විය. තවද මෙම දිව්‍ය පූජාවේදී භාග්‍යවත් ජුසේ වාස් මුනිඳුන්ව ශුද්ධවරයට එසවීමේ ඓතිහාසික මෙහෙයද උන්වහන්සේ විසින් පවත්වනු ඇති බවත්, කාදිනල් හිමිපාණෝ පවසා සිටියහ.
පාප්තුමෙකු මෙරටට පැමිණෙන තෙවැනි අවස්ථාව මෙය වන බවත්, ජාති ආගම් භාෂා බේද පසෙකලා උන්වහන්සේව පිළිගැනීමට සියලුම ශ්‍රී ලාංකිකයන්ට තමන් ආරාධනා කර සිටින බවටත් කාදිනල්තුමා පවසා සිටියහ.