ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙනැවිත් බෙදාහැරීමේ චෝදනාවන්ට මරණ දඬුවම් නියමවූ පාකිස්තානුවන් දෙදෙනකු ශ්‍රී ලංකාවෙන් හා රටවැසියන්ගෙන් ඊයේ (18දා) කොළඹ මහාධිකරණයේදී සමාව ඉල්ලූහ.
පාකිස්තානයේ පවතින දරිද්‍රතාව නිසා බඩේ බැඳගෙන ලංකාවට හෙරොයින් ගෙනැවිත් වෙලේ සුදාගේ ගෝලයෙකුට බාරදීමට උත්සාහ කිරීමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටුවූ පාකිස්තානයේ ලාහෝර් නුවර පදිංචිකරුවන් වන මෙහෙබුබ් කුමාර් සහ ෂසාඩ් වසාර් නැමැත්තන් මෙලෙස ලංකාවෙන් හා ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලූහ.
මරණ දඬුවම නියම කිරීමට මත්තෙන් පැවසීය යුතු යමක් ඇත්නම් පවසන ලෙස විනිසුරුවරියගේ නියමය පරිදි අධිකරණ භාෂා පරිවර්තක විමල්ද සිල්වා මහතා දැනුම් දුන් විට සිව් දරුපියවරුන් වන තමුන් පාකිස්තානයේ පවතින අධික දරිද්‍රතාව නිසා තම දරුවන් ජීවත් කරවීමට මෙම අපරාධය සඳහා යොමු වූයේ යැයි පවසා සිටියේය.