ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තමා 'යහපාලන ආණ්ඩුවේ' කැබිනට් ඇමතිවරයෙකු බව අමතක වී මයික්‍ර‘ෆෝනයක් දුටු තැන විහිළු කතා කියමින් 'කාඩ්බෝඩ් සැන්ඩෝ' කෙනෙකු වීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඇමතිවරයා එසේ කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යවරයා මත්තල ගුවන්තොටුපළේ ගබඩාවල වී ගබඩා කිරීම සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයට ඊයේ (19දා) පිළිතුරු දෙමිනි.
නිමල් සිරිපාල මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා.
“අප මත්තල ගුවන්තොටුපළේ කළ නිරීක්ෂණ චාරිකාවකදී දැක්කා එහි විශාල ගබඩා ප්‍රයෝජනයක් නැතිව වහලා තියෙන බව. ඒ නිසයි රජය පසුගිය දවස්වල උත්සන්න වී තිබූ වී මිලදී ගැනීමේ ගැටලුව විසඳන්න මේ ගබඩා පාවිච්චි කළේ. ඒකෙන් වැඩි ප්‍ර‘යෝජනයක් වුණේ හම්බන්තොට ගොවි ජනතාවටයි. ඔවුන්ගේ වී තමයි මණ්ඩලය මෙහි වැඩියෙන් ගබඩා කළේ.
අනික මේක තාවකාලිකව ගත් පියවරක්. ගොවියන්ගේ වී විකිණීමේ ගැටලුව පසුගිය දවස්වල ජාතික ප්‍රශ්නයක් වුණා. ගොවියාගේ මෙවැනි බරපතළ ගැටලුවකට වඩා සතියකට එක ගුවන්යානයක් එන මත්තලට කුරුල්ලන් ඇවිත් කැත කරන එක මහා ලොකු පාඩුවක් හැටියට දකින අපේ ප්‍රවාහන ඇමතිවරයා ගැන මට තියෙන්නේ කනගාටුවක්.
මාධ්‍ය ඉදිරියේ මේ වගේ ළඳ බොළඳ කතා කියන්න ඉස්සෙල්ල හිතන්න ඕනෙ තමන්ගේ වගකීම ගැන. ඔහු කතා කරන්නේ තමන් නියෝජනය කරන කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට එරෙහිවයි. මයික් එකක් දැක්ක තැන විහිළු කතා කියමින් එතුමා 'කාඩ්බෝඩ් සැන්ඩෝ' කෙනෙක් වෙන්න හදන එකට කනගාටුයි" යනුවෙන් කියා සිටියේය.