කිසිදු මුදලක් නොගෙවා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භූමියක පවත්වාගෙන යන ප්‍රවාහන අමාත්‍යාංශය, මාසිකව රුපියල් හතළිස් හත් ලක්ෂ විසිහයදහස් දොළහයි ශත අනූතුනක මුදලක කුලී ගෙවීමට බත්තරමුල්ල ප්‍රදේශයට ගෙන යෑමට සැලසුම් කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි දුම්රිය ඉඩමක පවත්වාගෙන යන ප්‍රවාහන අමාත්‍යාංශය දශක තුනකට වැඩි කාලයක සිට එම ස්ථානයේ ස්ථාපිත කර තිබෙන බවද එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
මෙම ස්ථානයේ ප්‍රවාහන අමාත්‍යාංශය ස්ථාපිත කර තිබීම නිසා දුම්රිය දෙපාර්තමේන්තු හා අනෙකුත් ප්‍රවාහන අංශවල කටයුතු වලට වඩාත් පහසු වූ බවද පවසා සිටියේය.
එහෙත් හදිස්සියේම මෙතරම් අධික මාසික කුලියක් ගෙවමින්, කිසිදු ඉඩ පහසුකමක් නොමැති ස්ථානයකට මෙම අමාත්‍යංශය රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවත්, මෙය ක්‍රියාත්මක කළහොත් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.