තමිල්නාඩුවේ, නාගපට්නම් සිට කි.මී. 07 ක් පමණ දුරින් පිහිටි පොයිගයිනල්ලූර් ග්‍රාමයේ දේවාලයක ඉදිකර තිබූ හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ අනුරුවක් කිසියම් පිරිසක් විසින් විනාශ කිරීමත් සමග එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය ඊයේ (07දා) වාර්තා කළේය.\\
මෙම අනුරුව පසුගිය සිකුරාදා දිනයේදී විවෘත කර තිබෙන අතර, ඇතැම් පිරිස් එයට වන්දනාමාන කර තිබේ.
කෙසේ වෙතත් පෙරේදා (06දා) අලුයම් කාලයේ මෙම අනුරුව හඳුනානොගත් පිරිසක් විසින් විනාශ කිරීමත් සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ. විරෝධතා දක්වන පිරිස් හා ප්‍රදේශයේ දේශපාලඥයන් පවසන්නේ මෙම අනුරුව පොලීසිය විසින් ඉවත්කර තිබෙන බවයි.
වම් අතේ තුවක්කුවක් සමග දකුණු අතින් සුදු අශ්වයෙකුගේ කරපටියක් අල්ලාගෙන සිටින අයුරින් ප්රභාකරන්ගේ අනුරුව ඉදිකොට තිබූ බවත්, පසෙකින් ඇතෙකුගේ හා තවත් අශ්වයෙකුගේ අනුරුවක්ද තිබූ බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. එහි තිබූ ප්රභාකරන්ගේ අනුරුව පමණක් විනාශ කර ඇති අතර, සුදු අශ්වයන්ගේ හා ඇතාගේ අනුරූ ඒ ආකාරයෙන්ම තිබෙන බවද එම මාධ්‍ය සඳහන් කරයි.
මාස හයක කාලයක සිට මෙම නිර්මාණය කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කොට තිබෙන අතර, එය අඩි පහක් පමණ උසවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ පිළිබඳව ඉන්දීය මාධ්‍යයන්ට අදහස් දක්වා තිබූ ගම්වාසීන් පවසා ඇත්තේ, ප්රභාකරන් වැනි පුද්ගලයෙකුට වන්දනාමාන කිරීම ගැටලුවක් නොමැති බවයි. මීට ඉහතදී මෙම ගම්වාසීන් ඉන්දියාව විසින් ඉන්දීය පොලීසිය විසින් මරා දැමූ සඳුන් දැව හා ඇත් දළ ජාවාරම්කරුවෙකු වූ වීරප්පන්ගේ අනුරුවකටද වන්දනාමාන කොට තිබේ. නමුත් එම අනුරුවද පසුව ඉවත්කොට ඇත.
ඊයේ (07දා) දිනයේදී පොයිගයිනල්ලූර් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබූ බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
(ද ඉන්දියන් එක්ස්ප්‍රස්/ හින්දු/ ඩෙකෑන් ක්‍රොනිකල් ඇසුරෙනි)