මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා මූලික පරීක්ෂණ උසාවි දෙකක් පත් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා නියෝගකර තිබේ.
අදාළ ඝාතන සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය ඇතැම් ලිපිලේඛන කිහිපියක් අස්ථානගත වී ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉල්ලා ඇති ඇතැම් ලිපිලේඛන සොයාගැනීමට නොහැකි වී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පවසාතිබේ.
එම ලිපිලේඛන අස්ථානගත වී ඇත්ද, ඊට හේතුව කුමක්ද, කුමන කාලසීමාවක එම ලිපිලේඛන අතුරුදන් වී ඇත්ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා මෙලෙස මූලික පරීක්ෂණ උසාවියක් පත් කර ඇති බවත්, ඊට අමතරව ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධ පරීක්ෂණවලට අදාළ අස්ථානගත ලිපිලේඛන සොයාගැනීම සඳහාද යුද හමුදාපතිවරයා විසින් තවත් පරීක්ෂණ උසාවියක් පත් කර ඇති බවත් යුද හමුදාව සඳහන් කළේය.
මෙම මූලික පරීක්ෂණ උසාවි දෙකෙහිම කටයුතු නිම වූ පසු එහි තොරතුරු අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන බව යුද හමුදාව සඳහන් කරයි.
අදාළ සිදුවීම්වලදී සෘජුව හෝ වක්‍රව යම් හමුදා සාමාජිකයෙකු කිසියම් අයුරකින් සාක්ෂි යටපත් කිරීමට උත්සාහ දරා ඇති බවට තහවුරු වුවහොත්, තරාතිරම හෝ සමාජ තත්ත්වයන් නොසලකා යුධ අධිකරණයක් ඉදිරියට පමුණුවන බවද යුද හමුදාව වැඩිදුරටත් සඳහන් වෙයි.