රට තුළ පවතින සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
උතුරු මැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ (16දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීම සඳහා කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ යැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට සහාය පළ කරන ඇතැම් පාර්ශ්ව මේ සඳහා විරුද්ධ වුවද, තම මූලිකත්වය මත මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට හැකි වීම පක්ෂ භේදයකින් තොරව රටේ සෑම ජනතාවකටම හිමිකරදුන් ජයග්‍රහණයක් ලෙස තමන් සලකන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සහ දැනට පළාත් සභා තුළ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරුණු බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
රටේ පවතින මනාප දේශපාලන ක්‍රමය තුළ දේශපාලඥයන් රට ගැන සිතීමට පෙර තම පෞද්ගලික දේශපාලන ජයග්රහණයන් වෙනුවෙන් කටයුතු කිරීම සිදුවන බවත්, ඒ තුළ රටේ ජනතාව බලාපොරොත්තු වන ජයග්රහණයන් රට වෙනුවෙන් ලබාදීමට නොහැකි වී ඇති බවත් ජනපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.