පළාත් පාලන සීමා නිර්ණ කොමිසමේ කටයුතු අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට නියමිත බවත්, මැතිවරණය ජුනි මාසයට පෙර පවත්වන බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ(19) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා එය කොට්ඨාස සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයට පවත්වන බවද පවසා සිටියේය.
කිසිසේත්ම පැරණි ක්‍රමයට මැතිවරණය නොපවත්වන අතර, 70% ක් කොට්ඨාස ක්රමයද, 30% ක් සමානුපාතික ක්රමයද නියෝජනය වන පරිදි මිශ්‍ර ක්‍රමයකට පළාත් පාලන මැතිවරණය පවත්වන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා,
“සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශනයට පත්කළ කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතාට මම උපදෙස් දීලා තියෙනවා අප්‍රේල් මාසෙ සීමා නිර්ණයේ කටයුතු අවසන් කරන්න. ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය සියලුම සම්පත් ලබාදීමට පොරොන්දු වුණා. දිස්ත්‍රික් මට්ටමින් මේ වනවිට සීමා නිර්ණ කටයුතු කරගෙන යනවා. ඒක ඉතාමත් අභියෝගාත්මක කාර්යයක්. අපට අභියාචනා 1000කට වඩා ලැබිලා තියෙනවා. තවදුරටත් පළාත් පාලන ආයතන නිලධාරීවාදයට යටත් කරන්න බෑ. ඇතැම් දේශපාලඥයන් සමානුපාතික ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අධිකරණයට යන්න හදනවා. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත අනුව සමානුපාතික ක්‍රමයට මැතිවරණය පවත්වන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයටවත් පනතක් වෙනස් කරන්න බෑ. ඒ වගේම සමානුපාතික ක්‍රමයට මැතිවරණය පවත්වන්න ජනවරමක් ලැබිලා නෑ.
70% ක් කොට්ඨාස ක්‍රමයත්, 30% ක් සමානුපාතික ක්‍රමයත් නියෝජනය වන මිශ්‍ර ක්‍රමයකට තමයි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ. එතනදි පළාත් පාලන ආයතනවලට තෝරාගන්නා මන්ත්‍රීවරුන්ගෙන් 25෴ ක් කාන්තාවන් නියෝජනය වන ලෙස, මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වැනි අවස්ථාවක් කාන්තාවන්ට ලබාදෙන්න සැලසුම් කරලා තියෙනවා. එමගින් යෝජනා කර ඇති කාන්තා නියෝජනය වැඩි කිරීම සිදුවනවා. මම ඉතාම වගකීමෙන් සියලුම දේශපාලන පක්ෂවලට කියනවා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික සහ කොට්ඨාස ක්‍රම දෙකම ඇතුළත් මිශ්‍ර ක්‍රමයකට. ඒ නිසා ඊට සූදානම් වෙන්න. කිසිසේත්ම පැරණි සමානුපාතික ක්‍රමයට පළාත් පාලන මැතිවරණය තියන්නේ නෑ. ඒ වගේම පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වුණේ සීමා නිර්ණය නිවැරදිව අවසන් කරන්න සිදුවුණ නිසයි* යැයි පැවසීය.