පරීක්ෂණ කොමිෂන් සභා මගින් අනාවරණය කරගනු ලබන කරුණු පදනම් කරගනිමින් නඩු පැවරීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම පිණිස වන අදාළ සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක විසින් ව්‍යවස්ථා කෙටුම්පත් කරනු ලැබ තිබේ.
එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3ට නොඅඩු විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත. ඒ අනුව, පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.