මෙවර මහ මැතිවරණයෙන් ජනතාව තීරණාත්මක තීන්දුවක් ලබාදී ඇති බවත්, තමන් කොංග්‍රසය ලැබූ පරාජයේ වගකීම භාරගන්නා බවත් කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සිය ආධාරකරුවන් හමුවේ අද (16දා) කියා සිටියාය.
නිදහසින් පසු ඉන්දීය දේශපාලනයේ ගාමක බලවේගය බවට පත්වූ නේරු-ගානිධි පරම්පරාවෙන් පැවතෙන කොංග්‍රසය දශකයකට ආසන්න කාලයක් ඉන්දියාවේ පාලනය හෙබවූවද, මෙවර මහ මැතිවරණයෙන් ඔවුන් එදාමෙදා තුර ලැබූ දරුණුතම පරාජයට මුහුණ දෙමින් සිටියි.
භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තු ආසන 285 ක් හිමි වෙද්දී, කොංග්රස් පක්ෂයට ආසන 50කටත් අඩු ප්‍රමාණයක් හිමිවනු ඇති බව පැවසෙයි.
කොංග්රස් නායිකා සෝනියා ගාන්ධි පුත්, රාහුල් ගාන්ධි මෙවර ඉන්දීය මහ මැතිවරණය මෙහෙයවූ චරිතය වුවත්, ඔහුව භාරතීය ජනයා පිළිගෙන නැති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන්නට තිබේ.
සිය මව සමග එකතුව ජනතාව ඇමතූ රාහුල් ගාන්ධි කියා සිටියේ පක්ෂයේ පරාජය මගින් තමන්ට බොහෝ දේ සිතන්නට බල කොට ඇති බවය.
"මුලින්ම මා අලුත් රජයට සුබ පතනවා. ඔවුන්ට අපේ රටේ ජනතාව වරමක් ලබාදී තිබෙනවා. ඒ නිසා මා අලුත් ආණ්ඩුවට සුබ පතනවා" යැයි රාහුල් පවසා සිටියේය.
"අපි ගැන කතා කළොත්, කොංග්‍රසය දරුණු පරාජයක් ලබා තිබෙනවා. අපිට දැන් මේ ගැන හොඳින් සිතා බැලීමට වෙනවා. පක්ෂයේ උප නායකයා ලෙස ඒ වගකීම මා භාර ගන්නවා."
රාහුල් ගාන්ධි මෙසේ පවසා සිටියද, ප්‍රධාන විපක්ෂය ලෙසින් පිළිගැනීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් හෝ දිනාගැනීමට කොංග්‍රසය අසමත් වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.