ප්රශ්ණගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සියලු සත්‍ය තොරතුරු තමා වෙත ලබා නොදීම හේතුවෙන් එම සමාගම වෙනුවෙන් තවදුරටත් මෙම කොමිසම හමුවේ පෙනී නොසිටීමට තමන් බලාපොරොත්තු වන බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අද (04දා) කොමිසමට දැනුම් දුන්නේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසමේ සාක්ෂි දෙමින් සිටින අතරතුර නියම දත්ත මකා දමා විකෘති දත්ත ඇතුළත් කොට සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට බාරදුන් බව කොමිසම හමුවේ හෙළිදරව් වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා ඒ බව කොමිසමට දැනුම් දුන්නේය.
මෙම තත්ත්වය යටතේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටිනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී තමන් තීරණයක් නොගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිතා බලා ගනු ලබන තීරණය ඉදිරි දිනයේදී කොමිසමට දැනුම් දෙන බවත් නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසමට දැනුම් දුන්නේය.
ප්‍රධාන ගැනුම්කරුගේ හා ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ දැනුම් දීම මත ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය වූ සමයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකථන ඇමතුම් දත්ත සියයකට අධික ප්‍රමාණයක් මකා දමා සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට ඉදිරිපත් කළ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්‍රි මහතා කොමිසමට දැනුම් දුන් අතර, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කාර නුවන් සල්ගාදු මහතා කොමිසමේ සාක්ෂි දෙමින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගේ දැනුම් දීම් මත අදාළ දත්ත මකා දමා විකෘති දත්ත ඇතුළත් කළ සංයුක්ත තැටියක් සෑදීමට තමන් සචින් දේවතන්ත්‍රි මහතාට දැනුම් දුන් බවද හෙළි කළේය.
ඉන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මේ බව කොමිසමට දැනුම් දුන්නේය.