භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සම්බන්ධ තොරතුරු වෙන්දේසියට පෙර ලබාගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදලේ ගැනුම්කරුවන්ට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 397කට අධික මුදලක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ගෙවා ඇතැයි එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වන නුවන් සල්ගාදු නමැත්තා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (12දා) හෙළි කළේය.
2014 වසරේ සහ 2015 මාර්තු මාසය දක්වා වූ කාලයේදී පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවල තොරතුරු කලින් ලබාගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදලේ ගැනුම්කරුවන්ට මෙලෙස විශාල අල්ලස් ගෙවා ඇති බව පිළිගත් ඔහු සේවක අර්ථසාධක අරමුදල හා එහි ගැනුම්කරුවන් ‘චාලි’ යන අන්වර්ථ නාමයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හැඳින්වූ බවද හෙළි කළේය.
කොමිසමේ කටයුතු සඳහා සහාය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කාර නුවන් සල්ගාදු නමැත්තා මේ බව හෙළි කළේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසමේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී කොමිසම අමතමින් කොමිසම භාරයට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කාර නුවන් සල්ගාදු නමැත්තාගේ පරිගණකය පරීක්ෂා කිරීමේදී එහි තිබී යම් යම් අයට මුදල් ගෙවීම් සඳහන් කළ ‘ලිපියක්’ සොයාගත් බව කියමින් එම ලිපිය කොමිසමට ඉදිරිපත් කළේය.