කොළඹ නගරයේ ඇති පදික වේදිකාවල යළිත් වෙළෙඳාම් කිරීම සඳහා අවසර ලබාදීමට සිදුවූයේ ඉහළින් පැමිණි නියෝග නිසා යැයි කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා %අද^ට ප්‍රකාශ කළේය.
එම වෙළෙන්දන්ට යළිත් පදික වේදිකා ලබාදෙන්නැයි ජනාධිපති කාර්යාලයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සහ මැති ඇමතිවරුන්ගෙන් තමන්ට නියෝග ලැබුණු බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා,
'විවිධ දේශපාලන අරමුණු හිතේ තියාගෙන මේ වෙළෙන්දෝ ගිහින් දේශපාලඥයෝ හමුවෙනවා. ඊට පස්සෙ මැති ඇමතිවරු මට කෝල් කරලා ඇයි මේ මිනිස්සුන්ට පේමන්ට් එකේ වෙළෙඳාම් කරන්න දෙන්නැත්තේ කියලා අහනවා. අගමැතිතුමාගේ කාර්යාලයෙන් මට කතා කරලා කියනවා මේ මිනිස්සුන්ට විවිධ ප්‍රශ්න තියෙන නිසා පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න දෙන්න කියලා. ජනාධිපතිතුමාගේ කාර්යාලයේ ලේකම්වරු කතා කරනවා. ඒ අය ජනාධිපතිතුමා කිව්වා කියලා පදික වෙළෙන්දන්ට අවසර දෙන්න කියනවා.
ඉතිං මම මොකද කරන්නේ. මේක දේශපාලනය නියා පේමන්ට්කාරයෝ වීරයො වෙන්න හදනවා. මේක දේශපාලනයෙන් නවත්වන්න බෑ. ඉහළින් නියෝග එනකොට අපි ක්‍රියාත්මක කරන්න ඕන. ඉහළින් දෙන්න කියද්දි අපි දෙන්න ඕන. ඒක මගේ බූදලයක් නෙවෙයිනේ. ඉස්සර දෙන්න එපා කියද්දි තහනම් කරනවා. ඒක තමයි වෙනස' යනුවෙන් පවසා සිටියේය.
පිටකොටුව පාවෙන වෙළෙඳ සැල අසාර්ථ ව්‍යාපෘතියක් බවද පැවසූ නගරාධිපතිවරයා,
'වෙළෙඳාම් කරන්න මිනිස්සු එතැනට යන්න ඕන. ඒක හරියට මාකට් කරලා නෑ. ඒක හරියට කරන්න ඕන දෙයක්. මල්වත්තේ ඇරලා දීපු එකටවත් මිනිස්සු යන්නැතිව තියෙද්දි ෆ්ලොටින් මාකට් එකට කොහෙද මිනිස්සු යන්නේ. මල්වත්තේ කොච්චර ලස්සන මාකට් එකක් හැදුවද' යැයි ප්‍රකාශ කළේය.