රටක සංවර්ධනය සහ සාමය දිනාගත හැක්කේ එම රට තුළ ජීවත් වන ජනතාවගේ එක්සත්කම සමගිය සහ අන්‍යෝන්‍ය ගරුත්වය මත පමණයි. මෙයට 70 වසරකට පෙර එක්සත් ජාතික පක්ෂය බිහිවූයේ ජාතීන් අතර එකමුතුව, එක්සත් බව සහ සාමානාත්මතාව යන සවිමත් පදනම මතයි. එනිසාම විවිධ අභියෝග තර්ජන හමුවේ මෙතෙක් ආ පරිදිම ඉදිරි අනාගතයේදීත් කුමන අභියෝග මැද වුව එක්සත් ජාතික පක්ෂය මේ රටේ ශක්තිමත්ම පක්ෂය ලෙස තවදුරටත් කටයුතු කරනු ඇතැයි ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද මහතා පැවසීය.
පැල්මඬුල්ල ඓතිහාසික බෝ සමිඳු අසලදී පෙරේදා (03දා) පැවති බෝධිපූජා පින්කමකට සහභාගී වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවස්තරයට පූර්වගාමීව මෙම පිංකම සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ දුනේෂ් ගන්කන්ද මහතා මෙසේ ද පැවසීය.
ලංකා ජාතික සංගමය, සිංහල මහ සභාව ඇතුළු නිදහසට පෙර මෙරට ක්‍රියාත්මක වූ ජාතික ව්‍යාපාර රැසක එකමුතුවෙන් එදා එක්සත් ජාතික පක්ෂය බිහිවුණා. එහි නිර්මාතෘවරු වන මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පටන් වත්මන් නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දක්වා අප පක්ෂයේ සෑම නායකයෙකුම ජාතීන් අතර සමගිය සාමය හා සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටියා.
දේශපාලන වශයෙන් කුමන පාඩු සිදුවුණත් වාර්ගික හෝ ආගමික පටු මතවාද වෙනුවට ජාතික සංහිඳියාව වෙනුවෙන් ජාතීන් අතර, අන්‍යෝන්‍ය ගරුත්වය සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතියක් වෙනුවෙන් එජාපය පෙනී සිටියා.
ජාතික සමගිය මෙන්ම ප්රජාතන්ත්රවාදය, ආර්ථික සංවර්ධනය රටේ ගරුත්වය වෙනුවෙන් අපේ පක්ෂය සැමදා පෙනී සිටියා. ප්රජාතන්ත්රවාදයට එරෙහි වූ උතුරේ මෙන්ම දකුණේ ත්රස්තවාදීන්ගෙන් වැඩිම ජීවිත හානි සිදු වූයේ අප පක්ෂයේ නායකයන් හා සාමාජිකයන්ටයි.* යැයිද පවසා සිටියේය.