ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂයට යෑමට සිදුවූයේ එකතු වී වැඩ නොකළ නිසා බවත්, පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය සිව්වැනි ස්ථානයට වැටුණත් පක්ෂය අතැර යන අය නැවත පක්ෂයට නොගන්නා බවත් බස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.
ඊයේ (25දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන්න වුණේ එකතු වෙලා වැඩ නොකළ නිසයි. බොහෝ අය හිතනවා මේ පළාත් පාලන මැතිවරණයේදී බෙදිලා ඉල්ලලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට දාන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට නොවෙයි හතරට දැම්මත් පක්ෂය දාලා යන අය නැවත පක්ෂයට ගන්නේ නෑ.
අද එක්සත් ජාතික පක්ෂය බරපතළ වංචා කොමිසම බරපතළ වංචා කොමිසම හසුරුවන ආකාරය බැලුවාම අපට ඒකට ගිහිං කට උත්තරයක් දීලා එන එක විශාල ආඩම්බරයක්. මේ යන හැමෝම යන්නෙ දේශපාලන හේතූන් මත. පොඩි පොඩි සිල්ලර වැඩවලටත් බරපතළ වංචා කොමිසමට ගෙනියනවා. මේ රටේ හොරකම් කරපු අයට කිසිම දෙයක් මේ වනතුරුත් වෙලා නැහැ" යැයි පවසා සිටියේය.