(UPDATE)බස්නාහිර පළාත් සභාවට අදාළව කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් දේශපාලන පක්ෂ කිහිපයක් අද (05දා) පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාරදුන්නේය.
ඒ අනුව නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, එක්සත් ලංකා මහා සභාව යන දේශපාලන පක්ෂ සහ තවත් ස්වාධීන කණ්ඩායම් 03 ක් නියෝජනය කරන කණ්ඩායම්වල නායකයන් විසින් නාමයෝජනා පත්‍ර භාරදීම සිදුකෙරිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් නාමයෝජනා පත්‍ර භාරදීමට අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා උපාලි කොඩිකාර සහ ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ, සුසිල් කිඳෙල්පිටිය යන මහත්වරු සහභාගී වූහ.
----------------------------------------------------------------------------------------------------------------------
බස්නාහිර හා දකුණු පළාත් සභාවන්ට අදාළව ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ නාමයෝජනා සකස් කර අවසන්ව ඇති අතර, අද (05 දා) සහ හෙට (06 දා) දිනවලදී දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත එම නාමයෝජනා භාරදීමට නියමිතය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්‍ර සකස් කර අවසන්ව ඇති අතර, අද දිනයේදී බස්නාහිර පළාත් සභාවට නියමිත නාමයෝජනා අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඒවා භාරදීමට නියමිතය.සන්ධානයේ දකුණු පළාත් සභා නාමයෝජනා භාර දෙනු ලබන්නේ හෙට දිනයේදීය
එක්සත් ජාතික පක්ෂයද තරුණයන්ට වැඩි අවස්ථා ලබාදෙමින් මෙවර නාමයෝජනා ලැයිස්තු සකස් කළ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඊයේ (04) දිනය වනවිට පළාත් දෙකට අදාළව එම පක්ෂයේ නාමයෝජනා ලැයිස්තු අවසන් කළ බවත්, අද දිනයේදී ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාරදීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහතා පැවසීය.
ප්රජාතන්ත්රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආදී තවත් පක්ෂ ගණනාවක් අද දිනයේදී නාමයෝජනා භාරදීමට නියමිත බව එම පක්ෂවල නායකයෝ සඳහන් කළහ.
ජනතා විමුක්ති පෙරමුණද නාමයෝජනා සකස් කර අවසන්ව ඇති අතර, අද දිනයේදී කොළඹ හැර අනෙක් දිස්ත්‍රික්කවලට නාමයෝජනා භාරදෙන බවත්, කොළඹ නාම යෝජනා හෙට ලබාදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.