එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගත වී ඇත්තේ පක්ෂ හතරක් පමණක් බවත්, තවත් පක්ෂ 09 ක් පමණ සන්ධානයේ සාමාජිකත්වය ඉල්ලා ඇති බවත් සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය පමණක් එලෙස සන්ධානගත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සන්ධානයේ කටයුතු සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණේ ගැටලු සාකච්ඡා කර අවසන් විසඳුමකට පැමිණිමේ හැකියාව ඇති බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම අලුතින් සාමාජිකත්වය ඉල්ලා ඇති පක්ෂ 09 සම්බන්ධයෙන් සාකච්ඡා කර සාමාජිකත්වය දීමට සුදුසු පක්ෂ පමණක් එයට සම්බන්ධ කරගන්නා බවද හෙතෙම පැවසීය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ගෙන ආ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා එවකට පක්ෂයේ බොහෝ දෙනා අකමැති වුවද, පක්ෂයට තිබූ බැඳීම හේතුවෙන් ඒ අවස්ථාවේදී එකට සිටි බවද එස්.බී. දිසානායක මහතා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රට යහපත් ලෙස වෙනස් කිරීමට කැපවන අතර, උදය ගම්මන්පිල මහතා කළුකොඩි ඔසවන්න යැයි පවසන්නේ එම වෙනසට විරුද්ධවදැයි ප්‍රශ්න කළේය. එමෙන්ම ගම්මන්පිල මහතාට කළු රෙද්දක් අරගෙන දීමට හැකියාව ඇති බවත්, එයින් ඔහුගේ හෙළුව වසාගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කීය.