නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට වසරකට රුපියල් මිලියන තුන්දහසක් වියදම් කරන ආණ්ඩුව රාජ්‍ය වෛද්‍ය විද්‍යාල තුනක් ඉදිකිරීමට වෙන් කර තිබෙන්නේ රුපියල් මිලියන එක්දහස් දෙසිය පනහක මුදලක් පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රුපියල් මිලියන එක්දහස් දෙසිය පනහක මුදලින් සිදුකළ හැකි වන්නේ ශක්‍යතා අධ්‍යයනයක් සහ තවත් සුළු කටයුතු කිහිපයක් පමණක් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය. ජනතා මුදල් වසරකට රුපියල් මිලියල් 3000කට ආසන්න ප්‍රමාණයක් යොදවා නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට කටයුතු කළද, එම රෝහල නීත්‍යනුකූලව රජයට පවරාගෙන නොමැති බවද ඔහු පවසා සිටියේය.
ඊයේ (15දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය වෛද්‍ය පීඨ තුනක් ඉදිකිරීමට රජය සිදුකළ යෝජනා ඉතාමත් හොඳ බවයි.
එහෙත් එම යෝජනාව ඉටු කිරීමට නම් අයවැය සංශෝධනයකදී ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය. මීට අමතරව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට බව පවසමින් බියර් මිල පහත දැමීමට රජය සිදුකළ යෝජනාව හරහා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා රජය ගෙනයන ප්‍රතිපත්ති උල්ලංඝනය වීමක් සිදුවන බවද හෙතෙම සඳහන් කළේය. සංචාරකයන් මේ රටට පැමිණෙන්නේ සොබා සෞන්දර්ය විඳගෙන පෞරාණික ස්ථාන නැරඹීමේ මූලික අරමුණින් බවත්, එහෙත් බියර් මිල අඩු කිරීමෙන් ගෙන්වාගැනීමට උත්සාහ කරන්නේ බේබදු සංචාරකයන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත් අලුත්ගේ මහතා තවදුරටත් පවසා සිටියේය.