මහින්ද රාජපක්ෂ මහතා හිතුවක්කාරී හා අත්තනෝමතික ලෙස, සන්ධානයේ සමහර පක්ෂවල විරෝධතාද නොසලකා හරිමින් නීතිවිරෝධී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා මෙය පරාජය කිරීම සඳහා පෙරට එන ලෙස ප්රජාතන්ත්රවාදය අගයන ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකරන අතර, එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ සදාචාර විරෝධී ලෙස සම්මත කරගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ හදිසි ජනාධිපතිවරණයකට සූදානම් වුවද, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේම මහින්ද රාජපක්ෂ මහතාට තුන්වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි.
මීට අමතරව ව්‍යවස්ථාවට අනුව නැවත ජනාධිපතිවරණයක් කැඳවිය හැකිවන්නේ 2016 වසරේ නොවැම්බර් මාසයේදී බවත්, එයට හේතු වී තිබෙන්නේ පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයකදී තේරී පත්වන තැනැත්තා දෙවැනි වරටත් ජනාධිපති වුවහොත් ඔහු අනිවාර්යයෙන්ම දෙවැනි ධුර කාලය දිවුරුම් දීමෙන් පසු වසර 06 ම ධුරයේ රැඳීසිටිය යුතු බව සඳහන්ව තිබෙන නිසා බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
මේ අනුව 2010 වසරේ නොවැම්බර් මාසයේදී දෙවැනි ධුර කාලයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරයක් කැඳවිය හැකිවන්නේ 2016 වසරේදී බවද එම නිවේදනයෙන් පෙන්වාදෙයි.
මේ නිසා රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින්, දේශපාලන සදාචාරය නොසලකමින් ඒකාධිපති ගමනකට සැරසෙන ජනාධිපතිවරයාගේ මෙම නීතිවිරෝධී කටයුත්ත පරාජය කළ යුතු බවත්, ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන නිසා ප්රජාතන්ත්රවාදය අගයන සියලු දෙනා අදාළ කටයුත්තට එකතුවන ලෙසත් එම නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.