කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී අයුරින් චීනය බලා රැගෙන යෑමට තැත්කළ චීන ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (28දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම චීන ජාතිකයන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ තිබූ අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු 30කි. අනෙකාගේ වයස අවුරුදු 32කි.
ඔවුන් දෙදෙනා ඊයේ (28දා) සවස 4.15ට පමණ චීනය බලා පිටත්ව යන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 838 දරන ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සපයන ලද තොරතුරක් මත රේගුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
මෙම චීන ජාතිකයන් දෙදෙනා රැගෙන ආ ගමන් මලුවල කොතළ හිඹුටු ලීවලින් නිෂ්පාදන කරන ලද කෝප්ප (මග්) 65ක් සහ කිලෝ ග්‍රෑම් 40 ග්‍රෑම් 400ක් බර කොතළ හිඹුටු කැබලි තොගයක්ද සඟවා ගෙන තිබී රේගුව විසින් සොයා ගෙන තිබිණි. මේ සියල්ලේම මුළු වටිනාකම රුපියල් 729,000ක් බව රේගුව පවසයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධිකාරී ආර්.එම්. රත්නායක, සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්.වයි. ජීවානන්ද, ඩබ්ලිව්.ඒ.එන්. වෙල්ගම, යූ.ඒ.එස්. ප්‍රනාන්දු, ජී.ඩී.සී. ජයසූරිය, එම්.ඒ.ආර්. කුරේ සහ එල්.එල්.එස්.එල්. ජයසිංහ යන මහත්වරුන්ගේ සහාය මත නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජගත් ඔබේසේකර මහතා විසින් පැවැත්වීය.
එහිදී මෙම කොතළ හිඹුටු තොගය රාජසන්තක කළ අතර, මෙම චීන ජාතිකයන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.