කෝටි ප්‍රකෝටි ගණන් පාරවල්වලට, ගොඩනැගිලිවලට වියදම් කළ බවට මහා විශාල බෝඩ් ගසා තිබුණත් මිනිසුන්ගේ ආර්ථිකය දියුණු කරගැනීම සඳහා ඔවුන්ට අතහිත ලැබී නැති පරිසරයක මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී නිමල් සිරිපාල ද සිල්වා හා ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරු දෙදෙනාම පරාජයට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඌව පළාත් සභා මැතිවරණයේදී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බදුල්ල ආසනය ඡන්ද 6,098කින් සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ හාලිඇල ආසනය ඡන්ද 2,796 කින් පරාජයට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පවසා සිටියේය.
"බදුල්ලෙ මිනිස්සුන්ට නොයෙකුත් දේවල් දීල තියෙනවා. හාලි ඇල ඩිලාන් ඇමතිවරයා රට අරින්න, අරව මේවා, පාරවල් හදන්න, කාපට් දාන්න, කාණු කපන්න, බෝක්කු හදන්න නොකරපු දෙයක් නැහැ. හැබැයි මිනිස්සු ඡන්දෙ දීල නැහැ. නිමලුත් පරාදයි, ඩිලානුත් පරාදයි. ඒකෙන් පේන්නෙ, කෝටි ප්‍රකෝටි ගණන් පාරවල්වලට, ගොඩනැගිලිවලට වියදම් කළ බවට මහා විශාල බෝඩ් ගහලා තියෙනවා. නමුත්, මිනිසුන්ගේ ආර්ථිකය දියුණු කරගැනීම සඳහා ඔවුන්ට අතහිත ලැබී නැත්නම්, කෝටි කොච්චර වියදම් කළත් වැඩක් නැහැ. මේක 1% ජනතාවගේ අවශ්‍යතා ඉටුකරන වැඩපිළිවෙළක් කියා අපි දිගින් දිගටම කියා සිටියේ ඒ නිසයි" යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.