හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග චෝදනා ලැබ සිටින ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්යක්ෂවරුන් ඇතුළු සිවුදෙනාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 16 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා තීරණය කළේය.
දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙහි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටින බවත් නඩුවේ විභාග සඳහා වෙන් කළ දිනවල එම නීතිඥවරයාට පෙනී සිටීමට හැකියාවක් නොමැති හෙයින් නඩුවේ විභාග දින වෙනස් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට මෙම අවස්ථාවේදී ඉඩ ලබාදීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා එම ඉල්ලීම ඉදිරි නඩු දිනයේදී ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන්නේය.