නවගත්තතේගම විවිධ සේවා සමුපකාර සමිතියට සභිකයන් තෝරාගැනීමේ ඡන්ද විමසීම ඊයේ 27 දින රාත්‍රී 8 වනවිට අවසන් විය. එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව ඡන්ද සටනට එක්ව සිටි එකාබද්ධ විපක්ෂ කණ්ඩායම වැඩි සභිකයන් ප්‍රමාණයක් තෝරා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.
දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ සමුපකාර ඡන්දය පැවැත්වීය. මෙහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ කණ්ඩායමට සභිකයන් 25 ක් පමණක් ලබාගැනීමට හැකිවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ එකාබද්ධ විපක්ෂ කණ්ඩායම 44 ආසන්න සභිකයන් ප්‍රමාණයක් පත් කර ගැනීමට සමත් ව තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකාබද්ධ විපක්ෂ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව ඡන්ද සටනට එක්ව සිටි අතර එයට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නායකත්වය ලබාදුන්නේය. මේ අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් එක්ව තිබුණි.
ඡන්ද විමසීම අතර තුර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවීම නිසා නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට අමතරව වෙනත් පොලිස්ථාන වල නිලධාරීන්ද එම ස්ථානයට කැඳවීමට නවගත්තේගම පොලිස් ස්ථානාධිපති නවින් ඉන්ද්‍රජිත් මහතා කටයුතු කර තිබුණි.
ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව දෙපිරිස අතර ඇතිවීමට ගිය ගැටුම් වළක්වා ගැනීමට පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරය දැක ගත හැකි විණි. වැඩිම මනාප (355) ලබාගත් අජිත් කුමාර වන්නිනායක මහතාට උණුසුම් පිළිගැනීමක් පිරිසගෙන් ලැබී තිබුණි.