ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමට දේශපාලනිකව එක්වීම සඳහා නිර්මාණය කිරීමට යන නව දේශපාලන පක්ෂයේ මහ සමුළුවක් ළඟදීම කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බව 'අද'ට වාර්තා වේ.
නව පක්ෂයේ නම, සලකුණ සහ නායකයන් ඇතුළු තනතුරුවලට පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ජනතා සමුළුවක් පවත්වා රටට දැනුම්දීමටද එම පක්ෂය පිහිටුවීම සඳහා මුල් වී සිටින කණ්ඩායම දැනට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම නව පක්ෂයේ පළමු ඉලක්කය එළඹෙන පළාත් පාලන මැතිවරණය බවද වාර්තා වේ. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දැනට ලියාපදිංචිව තිබෙන පක්ෂයක නම,සලකුණ හා එහි නායකයන් වෙනස්කම්වලට භාජනය කරමින් මෙම නව පක්ෂය එළිදැක්වෙනු ඇත.
එම නව පක්ෂය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නායකයන් එක්වෙමින් නායකත්ව මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීමටත් එකඟතාවකට පැමිණ තිබෙන බවද වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා මෙම සමුළුවට සහභාගි නොකර ගැනීමටත්, සෑම අවස්ථාවකදිම එම නායකයන්ගේ ආශිර්වාදය නව පක්ෂය සඳහා ලබාගැනීමටත් සංවිධායකයන් උපක්රමික තීන්දුවක් ගෙන ඇතැයිද සඳහන් වේ.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම පක්ෂය නිර්මාණය කිරීමේ කටයුත්ත පසුපසින් සිටින ප්‍රධාන චරිතයක් බවත්, ඒකාබද්ධ විපක්ෂයේ යම් කොටසක් ඔහුට විරුද්ධ මතයක සිටින බැවින් පක්ෂයේ සංවිධාන කටයුතුවලට ප්‍රසිද්ධියේ සහභාගි නොවීමට ඒ මහතා තීරණය කර ඇති බවත් දැනගන්නට ලැබේ.
බිම් මට්ටමින් සිදුකෙරෙන නව පක්ෂයේ සංවිධාන කටයුතු බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට අවසන් කර තිබෙන අතර, ජූලි පළමු සතියේ සිට මහනුවර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමටද සංවිධායකයන් සැලසුම් කර තිබේ.
පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරියට යොදාගෙන ජනතාව සංවිධානය කිරීමටත්, ප්‍රසිද්ධියේ සිදුකරන එම කටයුතුවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ නොකිරීමටත් ඔවුන් තීරණය කර තිබේ.
එහෙත් පක්ෂ අභ්‍යන්තරයේ සිදුකෙරෙන සියලු සංවිධාන කටයුතුවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම අවශ්‍ය බව නව පක්ෂයේ සංවිධායකයන්ගේ අදහස වී තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිදු කරගෙන යන බැවින් නව පක්ෂයේ සංවිධාන කටයුතු දිස්ත්‍රික් මට්ටමින්, කඩිනම්ව අවසන් කිරීමට අවශ්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අදහස වී තිබේ.