ගුරු විදුහල්පතිවරුන්ට වසර 20කට අධික කාලයක සිට ඇති වී තිබෙන උසස්වීම් සහ වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා හඳුන්වාදුන් නව ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්ථා දෙක තවමත් ක්‍රියාත්මක නොකිරීම නිසා ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භයේ සිට පාසල් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
ගුරු හා විදුහල්පති ගැටලු විසඳීම සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේදී නව සේවා ව්‍යවස්ථා දෙකක් හඳුන්වා දුන් බවත්, එම සේවා ව්‍යවස්ථා දෙක පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දිනට පෙර රට තුළ ක්‍රියාත්මක කරන බවට පොරොන්දු ලබාදුන් බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
එහෙත් එම පොරොන්දුවට මේ වනවිට වසරක් ගත වී තිබුණද එම පොරොන්දුව ඉෂ්ට නොකළ බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව දින 100 ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා විසින් එම සේවා ව්‍යවස්ථා දෙක මේ වසරේ සැප්තැම්බර් මාසයට පෙර රට තුළ ක්‍රියාත්මක කරන බවට පොරොන්දු ලබාදුන් අතර, එම පොරොන්දුවද ඉෂ්ට නොවූ බව ලේකම්වරයා සඳහන් කළේය.
ඉන්පසුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති, අධ්‍යාපන අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බවත්, එහිදී අධ්‍යාපන ලේකම්වරයා විසින් පසුගිය නොවැම්බර් 30 වැනි දිනට පෙර සේවා ව්‍යවස්ථා දෙක ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
එම පොරොන්දුද මේ වනවිට කඩ වූ පොරොන්දු බවට පත් කර තිබෙන නිසා ලබන පාසල් වාරය ආරම්භයේ සිට නව සේවා ව්‍යවස්ථා දෙක ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාසල් කටයුතුවලින් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද හෙතෙම පවසා සිටියේය.