වසර ගණනාවක් නඩු පැවරීමක් තොරව රැදවුම් භාරයේ සිටින දේශපාලන සිරකරුවන් සියලු දෙනා නිදහස් කිරීම කෙරෙහි සලකා බලන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නීතිපතිවරයාගෙන් සහ ජනාධිපතිවරයා ප්රමුඛ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටී.
මේ වන විට විවිධ චෝදනා යටතේ නඩු පවරා හෝ නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් දේශපාලනික හේතු මත රදවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 273 ක් හෝ එයට වැඩි සංඛ්‍යාවකි.
මෙම පුද්ගලයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ වෙනත් ප්‍රතිපාදන යටතේ රදවා සිටී. වසර හය - හත දක්වා කාලයක් විමර්ශන සිදු කරන නමුත් නඩු පැවරීමක් පවා සිදු කර නොමැති පිරිස් ද මේ පිරිස අතර සිටින බව කැෆේ කියයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 18 කට වැඩි කාලයක් රදවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 5 ක් බව පොලීසිය පවසයි