දේශපාලන අරමුදල් තම පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් භාවිත කළේ යැයි චෝදනා ලැබූ ජපානයේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය යුකෝ ඔබුචි මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
තම දේශපාලන ව්‍යාපාරයට සහාය දක්වන කණ්ඩායම් හා වෙනත් අරමුදල් සිය රූපලාවණ්‍ය කටයුතු වෙනුවෙන් හා තමාගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් වූ භාණ්ඩ හා ක්‍රියා වෙනුවෙන් යොදා ගැනීම ඇයට එරෙහි නැගුණු චෝදනාවයි.
ඒ අනුව, අමාත්‍යවරිය ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමග විනාඩි 30ක පමණ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබේ.
තම රජයේ උසස් අමාත්‍ය පදවි සඳහා කාන්තා දායකත්වය විශේෂයෙන් අගය කරමින්, ඔවුන්ටද අවස්ථාව ලබාදෙන ෂින්සෝ අබේ අග්‍රමාත්‍යවරයාට මෙම සිදුවීම දැවැන්ත පහරක් බව එරට දේශපාලන විචාරකයෝ පවසති.
40 වැනි වියෙහි පසුවන ඔබුචි මහත්මිය, අබේ රජය මගින් මෑතකදී සිදුකළ කැබිනට් සංශෝධනයේදී ඉහළ කැබිනට් අමාත්‍ය ධුර පිදූ අමාත්‍යවරියන් පස් දෙනො අතරින් කෙනෙකු වන අතර, ඇය අනාගත අගමැතිවරියක් බවටද යම් යම් ඉඟි එවකට පළ වුණි.
එනමුදු, පසුගිය සතියේදී අනාවරණය වූයේ ඇගේ කාර්ය මණ්ඩලය සිය දෙශපාලන ව්‍යාපාරයේ අරමුදල්වලින් ඩොලර් දහස් ගණනින් වියදම් කරමින් වෙළෙඳ සවාරි ගොස් ඇති බවයි. විශේෂයෙන්ම රූපලාවණ්‍ය කටයුතු හා විවිධ භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් ඒවා වියදම් කර ඇති බවත් අනාවරණය විය.
කෙසේ වෙතත්, තමාට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇය සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම නම් පැසසිය යුතුය.