ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට පත්කිරීමට නියමිත දෙමුහුන් අධිකරණය පිළිබඳ තමන්ට දැඩි විශ්වාසයක් තිබෙන බවත්, ඉන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු විය හැකි බවත් උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
යාපනයේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසින් උතුරු පළාත් සභාව ඉදිරිපිටදී ඊයේ (22 දා) දියත් කළ උද්ඝෝෂණයක් පැවති අවස්ථාවට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී මේ බව සඳහන් කළේය.
යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස දේශීය වශයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට වඩා දෙමුහුන් අධිකරණයක් මගින් පැවැත්වෙන පරීක්ෂණය වඩාත් ඵලදායී වන බවත්, ඒ කෙරෙහි උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට කිසිදු සැකයක් ඇති නොවන බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.
2002 වසරේ පෙබරවාරි මස සිට යුද්ධය අවසන් වීම දක්වා සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එකඟ වී තිබීම හේතුවෙන් යුද්ධයට මැදිවූ උතුරු නැගෙනහිර සෑම දෙමළ වැසියෙකුටම සාධාරණයක් අපේක්ෂා කළ හැකි බවත්, එම වැසියන්ගේ විශ්වාසය තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.