දෙපාර්ශ්වයේම අන්තගාමීන් සිටින බවත්, මේ සියලු දේ සිදුකර ඇත්තේ දේශපාලඥයන් බවත් සියම් නිකායේ, මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් පැවසූහ.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (15දා) සියම් නිකායේ, මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදී උන් වහන්සේ මෙම අදහස් දැක්වීම සිදුකළහ.
"දෙපැත්තෙම එහෙම තමයි. දෙපැත්තෙම ඉන්නවනෙ අන්තගාමීන්.
දැන් මේවා ඔක්කොම කරල තියෙන්නෙ දේශපාලඥයො තමයි.
ඒ ඒ අයගේ දේශපාලනයට වාසි වෙන හැටියට තමයි, ඕව හදල තියෙන්නෙ.
මට මතකයි, ඔය කරුණෑගල පැත්තෙ රිදීගම ඉස්කෝලෙ දෙමළ අයත් හිටියා. මුස්ලිම් අයත් හිටියා. සිංහල අයත් හිටියා.
ඉතින් ඊට පස්සේ මුස්ලිම් ඇමතිවරයෙක් පත්වුණානෙ, බදියුදීන්.
එතුමා වෙනම මුස්ලිම් අයට විද්‍යාල පටන් ගත්තා. ඕකෙන් තමයි, අපි ඈත් වුණේ.
රිදීගම මුස්ලිම් අයට දෙමළ බැහැ. බිල් දාන්නෙත් කඩවල්වල සිංහලෙන්. සිංහලෙන්නෙ ඉගෙන ගත්තේ." යැයි උන්වහන්සේ පවසා සිටියහ.
මේ අවස්ථාවේදී මහනාහිමියන්ගේ අදහසට එකඟ වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, "මුස්ලිම්, සිංහල, දෙමළ කියන පාසල් සහමුලින්ම තහනම් කර එකට යන්න ඕනෙ" යනුවෙනි.
එහිදී, යළිත් අදහස් දැක්වූ මහනාහිමියන්,
"සංවිධායක කෙනෙක් ඉන්නවා හැම පක්ෂයකින්ම. නමුත්, ඒ අයගෙන් එච්චර වැඩක් වෙන බවක් අපට නම් පෙනෙන්නෙ නෑ.
ළඟදි මුස්ලිම් ළමයෙක් මහණ වෙලා හිටියා. අපිත් හොඳටම දන්න මේ මාවනැල්ල පැත්තේ ළමයෙක් මහණ වෙලා හිටියා.
සිවුරු ඇරපුවාම ලිපියක් ගන්න එනවා හැඳුනුම්පත ගන්න. එතකොට මම කරුණු අහල බැලුවා.
අනිත් අය කරදර කරනවලු එයාගේ පියාට, ළමයා ගෙන්වා ගන්න කියලා.
අන්න එහෙම ඒවා වැරදියි." යනුවෙන් පවසා සිටියහ.