දුම්රිය සේවයේ වසරක වියදම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 30 ක් ලබා දී තිබුණද, ආදායම වශයෙන් ලබා ඇත්තේ රුපියල් බිලියන 06 ක් පමණක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
දුම්රිය සේවයේ සිදුවන නාස්තිය හා දූෂණය හේතුවෙන් මේ ආකාරයට පාඩු විඳීමට සිදුව ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
දුම්රිය සේවයේ සිදුවන පාඩුව පියවාගෙන කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යාම සඳහා නව එන්ජින්, මැදිරි, දුම්රිය ගැල් ආදිය ගෙන ඒමට ඇණවුම් කර ඉන්දියාවෙන් හා ඇමරිකාවෙන් ටෙන්ඩර් කැඳවා තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
වසර 08 කින් පමණ දුම්රිය ගාස්තු වැඩි වීමක් සිදුකර නැති නමුත් පාඩු නොලබා හොඳ සේවාවක් ජනතාවට ලබාදීම රජයේ අරමුණ බවද හෙතෙම පවසා සිටියේය.
ලංකා ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන හා ලිහිසි තෙල් ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවූ බවත්, එහිදී අඩුම ටෙන්ඩරය ඉන්දියන් ඔයිල් සමාගමෙන් ලැබී ඇති බැවින් එම සමාගමට ටෙන්ඩරය භාර කළ බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මරදාන දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති III ශ්‍රේණියේ නවක දුම්රිය එන්ජින් රියදුරන් 24 ක් සහ අධීක්ෂණ නිලධාරීන් (ෆෝමන්) (විදුලි සංඥා) 24 ක් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.