පොතුහැර දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය ගැටුමෙන් තුවාල ලැබූ සියලු දෙනාට වන්දි මුදල් ලබාදෙන බවත්, මීට අමතරව දුම්රිය දෙක එකිනෙකට ගැටීම නිසා දුම්රිය මාර්ගයට සිදුවූ හානිය නිසා හෙට උදෑසන වනතුරු උතුරු දුම්රිය මාර්ගයේ සියලුම දුම්රිය ධාවන කටයුතු අවලංගු කර දැමූ බවත් දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා සඳහන් කළේය.
මේ නිසා කලින් ප්රවේශපත්ර වෙන්කරවාගත් සියලුම දෙනාට නැවත මුදල් ලබාදෙන බවත්, අනතුරින් රෝහල්ගත වී සිටින සියලුම දෙනාට වන්දි මුදල්වල අත්තිකාරම් මුදල් හැකි ඉක්මනින් ලබාදෙන බවත් ඔහු පවසා සිටියේය.
අදාළ දුම්රිය අනතුර නිසා දුම්රිය සේවා, අවලංගු කර දැමීම නිසා හෙට උදේ වනවිට එම මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 20 ක් අවලංගු වී යන බවද වාර්තාවේ.