දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 6 වැනි අදියර මහ කන්නය ඉලක්ක කරගනිමින් අද (20දා) පෙරවරු 10.07ට එළැඹෙන සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැළ සිටවීමෙන් දිවයින පුරා ආරම්භ කෙරෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
පවුලේ ආර්ථිකය සහ පෝෂණය වැඩි දියුණු කරමින් ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 25ක් සවිබල ගැන්වීමේ දිවි නැගුම 6 වැනි අදියර එයට සමගාමීව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331කට අයත් ග්‍රාම සේවා වසම් 14,022ක ක්‍රියාත්මක වන බවද අමාත්‍යාංශය පවසයි. ගෘහ ආර්ථිකය ගොඩනැගීම තුළින් රටේ ආර්ථිකයට පුනර්ජීවයක් ලබාදීම උදෙසා ඉසුරුමත් නිවහනක් අසිරිමත් මව්බිමක් යන තේමාව යටතේ දිවි නැගුම ප්‍රථම අදියර 2011 මාර්තු මස ආරම්භ වූ අතර එය මේ වනවිට සියලු දෙනාම දායක කර ගනිමින් වතු, ග්‍රාමීය, නාගරික සහ සියලු ජන කොටස්වල සහභාගිත්වයෙන් සාර්ථකව ක්‍රියාත්මක වන බවද පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් දිවි නැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.