(UPDATE) දශක තුනකට පසු භාරතීය ජනතා පක්ෂය ලැබූ අති විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයත් සමග අද (17දා) දිල්ලි නගරයට පැමිණි ඉන්දියාවේ මීළඟ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පිළිගැනීම වෙනුවෙන් බී.ජේ.පී. මූලස්ථානය ලබාදුන්නේ සුපිරි වීරවරයෙකුට ලබාදෙන උත්තමාචාරයකි.
ගුජරාටියේ සිට දිල්ලිය වෙත ගුවනින් පැමිණි මෝඩි, දැවැන්ත විජයග්‍රාහී පෙරහරකින් බී.ජේ.පී. මූලස්ථානය වෙත පැමිණෙද්දී ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනින් මග දෙපස රැස්ව ඔල්වරසන් දෙන ආකාරය දැකිය හැකිවිය.
තේ විකුණන්නකු ලෙස ජීවිතය අරඹා කෝටි සීයකට අධික ජනතාවගේ නායකයා බවට පත් වීමට සූදානමින් සිටින මෝඩි ගමන්ගත් පෙරහරේ ජයඝෝෂා පවත්වමින්, පක්ෂ ධජ ලෙළවමින් දහස් ගණන් ජනතාවක් ගමන් කළ ආකාරයද දැකිය හැකි විය.
බෙර වාදකයන් හා හොරණෑකරුවන්ගෙන් සමන්විත පෙරහරට එක්ව සිටි ජනයා වීදි බැස ජයග්‍රහණය සමරද්දී දිල්ලි නගරය පුරා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වූ බව දිල්ලි පොලිසිය පෙන්වා දුන්නේය.
මන්මෝහන් සිං ඉල්ලා අස්වෙයි
මේ අතර ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ ප්රතාපවත් නායක මන්මෝහන් සිං මහතා අද (17දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජී මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙමින් මන්මෝහන් සිං මහතා මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයෙන් නික්ම ගොස් තිබේ.
භාරතීය ජනතා පක්ෂයේ විජයග්‍රහණය
ලෝක් සභාවට මන්ත්‍රීවරු 543 දෙනෙකු තෝරාපත් කරගන්නා මෙවර මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව භාරතීය ජනතා පක්ෂය ආසන 283ක් හිමිකර ගෙන තිබෙන්නේ, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 272ක බහුතර බලයද ඉක්මවා යමිනි. එමෙන්ම, ඔවුන්ට සහයෝගය දක්වන සෙසු පක්ෂවල ආසනද එකතුව ගත්විට මෝඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ විපක්ෂයට ආසන 337ක් හිමිවී ඇති බව එන්.ඩී.ටී.වී. වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව 2009 මහ මැතිවරණය සමග සසඳා බැලීමේදී භාරතීය ජනතා පක්ෂය පමණක් තනිව ගත්විට ඔවුන් සිය ආසන පදනම 167කින් වර්ධනය කරගෙන තිබේ. එය ඔවුන්ට සහාය දක්වන සෙසු පක්ෂද සමග ගත්විට ආසන 196ක අති විශිෂ්ට වර්ධනයකි.
ඉන්දීය ජාතික කොංග්‍රසයේ මළගම
නමුත්, මෙවර මැතිවරණයේදී ඉන්දීය ජාතික කොංග්‍රසයට අත්වී තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ඉරණමකි. මෙවර මැතිවරණයේදී කොංග්‍රසයට හිමිව ඇත්තේ ආසන 44ක් පමණි. කෙසේ වෙතත්, ඔවුන්ට සහයෝගය දක්වන සෙසු පක්ෂවල ආසනද එකතුව ගත්තත්, රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොංග්‍රසයට හිමිව තිබෙන්නේ ආසන 59ක් පමණක් බව එන්.ඩී.ටී.වී. පෙන්වා දෙයි. ඒ අනුව, 2009 මහ මැතිවරණය සමග සසඳා බැලීමේදී කොංග්‍රසය පමණක් තනිව ගත්තද, ඔවුන් මෙවර මහ මැතිවරණයේදී ආසන 162ක් අහිමි කරගෙන ඇත. එය ඔවුන්ගේ සහයෝගී පක්ෂද සමග ගැනීමේදී මෙවර ඔවුන්ට අහිමි වී ඇති ආසන සංඛ්‍යාව 175කි.
එනම්, මෙවර මහ මැතිවරණයේ දැවැන්ත ජයග්‍රහණයක් ලබා සිටින නරේන්ද්‍ර මොඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතර බලයක් හිමිව තිබේ.
ඒ අනුව, ඔවුන්ට සෙසු පක්ෂවල සහයෝගය හෝ සන්ධානවලින් තොරව තනිව රජයක් පිහිටුවීමේ බලය හිමිවී තිබීමද සුවිශේෂි අවස්ථාවකි.
බටහිර ගැති මාධ්‍ය ඉන්දියානුවන් නොඇදහීම
බටහිර මාධ්‍ය විසින් මෝඩි ජාතිකවාදී දේශපාලනයේ නිරත, ආගම්වාදියෙකු ලෙස හංවඩු ගැසීමට තැත් කළද, ඉන්දියාව බටහිර කීම තුට්ටුවකට මායිම් කර නොමැති බව මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් විද්‍යාමාන වන සත්‍යයකි.
ජයග්රහණයෙන් පසුව වුවත්, බටහිර මාධ්‍ය මෝඩි ඉලක්ක කරමින් ඔහු ඉන්දියාවේ සුළු ජාතීන්ට අඩු සැලකිල්ලක් දක්වනු ඇති බවට තරක ගොඩනැගීමට උත්සාහ කරමින් සිටිනු දැකිය හැකිය. නමුත්, ඔවුන්ගේ ඒ තර්කයන්ටද හොඳ පිළිතුරක් මෝඩි විසින්ම ලබාදී තිබුණි.
බෙදීවෙන්වි කළ දේශපාලනයට නැවතුම් තිතක්
ඔහු කියා තිබුනේ බෙදී වෙන්වී කළ දේශපාලනය දැන් අවසන් බවය. මෙතැන් සිට ජනතාව සමගි සන්ධානයෙන් ඒකාබද්ධ කරන දේශපාලනය ඇරඹෙන බව ඔහු කීය. රටේ සංවර්ධනය වෙනුවෙන් තවත් ශක්තිය අවශ්‍ය බව පැවසූ මෝඩි තමන් ශ්‍රේෂ්ඨ හා ඉතා සෞභාග්‍යමත් ඉන්දියාවක් දකින බව අවධාරණය කළේය.
ඔබාමා හා කැමරන් මෝඩිව අමතක නොකිරීම
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා මෙන්ම බ්‍රිතාන්‍ය අගමැති වේඩිව් කැමරන්ද මෝඩි වෙත දුරකථනයෙන් කතා කරමින් ඔහුට සුබ පැතුම් එකතු කිරීමට අමතක නොකළේය. එන් නොනැවතුණු මේ ලෝක බලවතුන් දෙදෙනා, දෙරටේ සංචාරයකට පැමිණෙන ලෙසද මෝඩිගෙන් ඉල්ලා සිටියේ, බටහිර ගැති මාධ්‍ය කවර න්‍යාය පත්‍ර රැගෙන ගියත් ඉන්දියාව නමැති තීරණාත්මක සාධකය ඔවුන්ට වැදගත් නිසාය.