තලාහේන සංචාරක හෝටලයක දින හතක් ලැගුම්ගෙන සිට රුපියල් දෙලක්ෂ හතලිස් දහස් හැත්තෑ තුනක බිලක් නොගෙවා පලාගිය සැකරුවෙකු ඊයේ (03දා) මීගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. එම්. ඩී. සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මගරැක සිට උපායශිලීව සැකකරුව තලාහේන ප්‍රදේශයට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරව පෙදෙස, රාගම පාර, කඩවත, යන ලිපිනයෙහි පදිංචි 28 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි
සැකකකරු තලාහේන ප්‍රදේශයේ පිහිටි තරුපංති සංචාරක හෝටලයකට පසුගිය දිනක පැමිණ තමා සිංගප්පුරු රටේ ගුවන් සමාගමක ගුවන් යානා ඉංජිනේරුවරයෙකු බව දන්වමින් දින කිහිපයක් එහි රැඳිසිටීමට අවශ්‍ය බව හෝටල් කළමනාකාරීත්වයට පවසා තිබේ.
සැකකරු රැගෙන එන ලද ගමන් මලු දෙකක්ද සමගින් දින හතක් එහි ලැගුම් ගෙන සිටි කාලය තුළ ඔහුගේ මිතුරන් බවට පැවසෙන පුද්ගලයන් කිහිපදෙනෙකුද අවස්ථා කිහිපයකදී හෝටලයට පැමිණ සාදයක් පවත්වා තිබූ බවත්, පසුගිය 22 දින රැගෙන එන ලද බෑග් දෙකෙන් එකක් රැගෙන අවශ්‍යතාවයකට පිටතට ගොස් නැවත එන බවත් හෝටල් කළමනාකාරීත්වයට දන්වා ගොස් ඇත.
නියමිත පරිදි නැවත හෝටලයට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත් විටදී නැවත පැමිණෙන බවට පවසා සිටියත් පැමිණි නැති බවත්, මෙම පුද්ගලයා දින හතක කාලය සඳහා ලබාගත් ආහාරපාන හා නේවාසික ගාස්තු, ලබාගත් දුරකථන ගාස්තු සඳහා වූ රුපියල් දෙලක්ෂ හතලිස් දහස් හැත්තෑ තුනක් ගෙවීමට ඇති බවත්, පැමිනිල්ලේ සඳහන් බව පොලීසිය පැවසීය.
ඒ අනුව සිදුකළ විමර්ශනයකින් පසු ඊයේ(03දා) අදාළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්දිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
සීදුව - ප්‍රසාද් මුතුකුඩ