අනුමත දිගුකාලීන විදුලි ජනන සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විදුලි සැපයුමේ වියදම ඉහළයාම, විදුලිය ඇණහිටීම් සහ සැලසුමෙන් බාහිර විදුලිය මිලදී ගැනීම් ආදී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදු කළ අධ්‍යයනයකින් හෙළිව තිබේ.
වසර 2020 සිට එළඹෙන කාලය සඳහා විදුලිබල සැපයුම පිළිබඳව කළ මෙම අධ්‍යයන වාර්තාවට අනුව මෙම තත්ත්වයන් පාලනයට නිසි කලට අනුමත විදුලි බලාගාර ඉදිකර ක්‍රියාත්මක කළ යුතු බවට නිර්දේශ කර ඇත.
2006 සිට 2016 දක්වා කාලය තුළ බලාගාර ඉදිකිරීම හා විදුලිය මිලදී ගැනීම, ජනන සැලසුම් සඳහා පාදක කරගත් ඉල්ලුම් ඇස්තමේන්තු ආදිය කෙරෙහි මෙම අධ්‍යයනයේදී අවධානය යොමු කර තිබේ. වාර්ෂිකව ඉහළ යන විදුලිබල ඉල්ලුම සපුරාලමින් බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ ළඟා කර ගැනීමට කෙටිකාලීන, මැදකාලීන හා දිගුකාලීන නිර්දේශ එහි සඳහන් කොට තිබේ.
වත්මන් විදුලි ඉල්ලුම සහ එම ඉල්ලුම සපුරාලන සැබෑ තත්ත්වය පසුගිය ජනන සැලසුම්වලින් නිර්දේශිත තත්ත්වයට වඩා වෙනස් බව හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම අනපේක්ෂිත විදුලිය මිලදී ගැනීම්, විදුලිය සැපයෙන බලාගාර සම්මිශ්රණයෙහි වෙනස්කම් හේතුවෙන් විදුලි ඒකකයක පිරිවැය ඇස්තමේන්තුගත වියදමට වඩා ඉහළ ගොස් ඇති බව පෙනේ. 2016 වර්ෂයේදී ඉන්ධන (තාප) භාවිත වන බලාගාරවලින් විදුලිය සැපයීම් 6 ගුණයකින් ඉහළ ගොස් තිබේ.