දළදා කරඬුව වැඩමවීමට සිටි "ඉන්දිරාජා"සමග ඇත් පන්තියේ අය අමනාපයෙන්
කන්ද උඩරට ඓතිහාසික දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා සුදුසුකම් ලබා සිටින 'ඉන්දිරාජා' හස්තියා සමග දළදා මාලිගාවේ ඇත් පන්තියේ අනෙකුත් හස්තීන් අමනාපයකින් පසුවෙන බැවින් දළදා කරඬුව වඩම්මන ඉන්දිරාජා සමග දෑල ඇතුන් (පරිවාර ඇතුන්) යෙදවීම ප්රශ්නයක් වී ඇතැයි දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා 'අද' පුවත්පතට පැවසීය.
එහිදී දියවඩන නිළමේවරයා පවසා සිටියේ, 'වෑවලදෙණියේ රාජා' හස්තියා මියයාමෙන් පසු දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම්ම වීමට සුදුසුකම් ලත් හස්තීන්ගේ අඩුවක් පවතින බවත්, කෙසේ වෙතත් 'නැදුන්ගමුවේ රාජා' හස්තියා හා මහා කතරගම දේවාලයට අයත් 'වාසනා' හස්තියාද සධාතුක කරඬුව වැඩම්මවීමේ කාර්යය සඳහා කැඳවා තිබෙන බවත්ය.