දලයි ලාමා දළදා මාලිගාව සහ ශ්‍රී මහාබෝධිය ඇතුළු අටමස්ථානය වන්දනා කිරීමේ දැඩි ආශාවකින් පසුවන බව පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් පැවසූ බව බී.බී.සී.ය කියයි.
නව දිල්ලි හමුවකදී දලයි ලාමාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් වැඩිදුරටත් පවසා ඇත්තේ, දලයි ලාමාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව රජයේ ප්‍රධානීන් සමග ළඟදීම සාකච්ඡා කරන බවය.
ඒ අනුව, දලයි ලාමාට ශ්‍රී ලංකාවේ වන්දනාවක නිරත වීම සඳහා අවසර දෙනමෙන් රජය වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුනොත් ඒ ගැන සලකා බැලිය හැකි බව නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පී.පෙරේරා පවසා තිබේ.
‘නිල දැනුම් දීමක් සිදුවුණොත් රජයක් විධියට අදාළ සියලු කරුණු සලකා බලා සුදුසු තීරණයක් ගන්නවා. දැනට ඒ ප්රශ්නය මතුව නැතතේ එවැනි ඉල්ලීමක් කර නොමැති නිසයි’ යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී ඇත.
බී.බී.සී.ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මීට පෙර රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, ‘රජය දලයි ලාමාට වීසා නොදීමට’ ඉඩකඩ ඇති බව පැවසූ බවයි.
‘ආරාධනා කරන්න පුළුවන්. ඒත් ආණ්ඩුව දලයි ලාමාට වීසා නොදෙන්න ඉඩකඩ තියෙනවා’ නම සඳහන් නොකළ එම නිලධාරියා පවසා තිබේ.
'දලයි ලාමා ඉතාම වැදගත් චරිතයක් වන නමුත් චීනයත් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා වඩාත් වැදගත්' බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම, දලයි ලාමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන පිළිවෙත මේ අතර චීන විදේශ අමාත්‍යාංශය විසින් අගය කරනු ලැබ තිබේ.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ‘හුආ චුන්යින්’ පවසා ඇතතේ ‘චීනය සහ ශ්‍රී ලංකාව අතර හැම විටම යහපත් ද්විපාර්ශ්වීය සබඳතා තහවුරු වී ඇති’ බවයි.
පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් වැඩිදුරටත් පවසා ඇත්තේ, ‘බෞද්ධ භික්ෂුවක් හැටියට අපි දලයි ලාමාට ආරාධනා කළා. ශ්‍රී ලංකාවට එතොත් උන්වහන්සේ පැමිණෙන්නේ රාජ්‍ය නායකයකු හැටියට නොවෙයි. සාමාන්‍ය වන්දනාකරුවකු හැටියටයි’ බවයි.
දලයි ලාමාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කරනු ලැබීම පිටුපස ඉන්දියාව සිටින්නේදැයි බී.බී.සී.ය කළ විමසීමකදී එම නාහිමියන් කියා ඇත්තේ එවැනි කිසිදු බලපෑමක් නොමැති බවයි.
‘ඉන්දියාවේ බෞද්ධයන් සමඟ, විශේෂයෙන්ම ඉන්දියාවේ බෞද්ධ ප්‍රභූන් සමග ඒ ගැන කතා කරලා තියෙනවා. දලයි ලාමාගේ ශ්‍රී ලංකා වන්දනා ගමනක් ගැන’ බානගල නාහිමියෝ වැඩිදුරටත් පවසා ඇත.
ඒ හැර වෙනත් කිසිදු බලවේගයක් සිය ආරාධනය පිටුපස නොමැති බව උන්වහන්සේ අවධාරනය කර ඇත.