මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහා සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් ඊයේ (10දා) දින පැවැති කැබිනට් රැස්වීම දැඩි උණුසුම්කාරී වූ බව වාර්තාවේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වා කොටසට ඉදකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා වාදයක පැටලීම් සමග කැබිනට් රැස්වීම උණුසුම්කාරී වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩි පොලියට අති විශාල මුදලක් ණයට ගෙන මෙම කොටස ඉදිකිරීමට වඩා පුමුඛතා හඳුනාගෙන කටයුතු කරන්නැයි දයාසිරි ජයසේකර ඇමතිවරයා පෙන්වා දී ඇත.
තමා අධිවේගී මාර්ග ඉදිකිරීමට විරුද්ධ නැති බවත්, අධිවේගී මාර්ගයේ කොළඹ සිට කුරුණෑගල දක්වා ඉදිකිරීමට් කටයුතු සිදු කෙරෙන බවින් කුරුණෑගල සිට මහනුවර දක්වා දැනට ඇති මාර්ගය පුළුල් කළ හැකි බවත් දයාසිරි ජයසේකර ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
ඊට පිළිතුරු දී ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම අත්‍යවශ්‍ය බවත් කවුරුන් විරුද්ද වූවද එය සිදු කරන බවත් පවසා තිබේ.
පසුගිය මහා මැතිවරණයේදී ශ්‍රී ලනිපය පරාජය වූ බව පවසා ඇති කිරිඇල්ල මහතා එසේ තිබියදී ආණ්ඩුවට එක්වී ආණ්ඩුවේ කටයුතුවලට බාධා කරන බවට චෝදනා කර ඇත.
කිරිඇල්ල ඇමතිවරයාගේ එම චෝදනාවට මහින්ද අමරවීර ඇමතිවරයා පිළිතුරු දී ඇති අතර ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දිය නොහැකි නම් ආණ්ඩුවේ සිටීමෙන් ඵලක් නැතැයි ඔහු පවසා තිබේ.
දයාසිරි ජයසේකර ඇමතිවරයාට සහාය පළ කරමින් මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත සහ පාඨලි චම්පික රණවක යන අමාත්‍යවරුන්ද අදහස් දක්වා ඇති අතර කිරිඇල්ල ඇමැතිවරයාගේ සහායට කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් අදහස් දක්වා ඇති බව වාර්තාවේ.
දෙපිරිස අතර වාදය උත්සන්න වෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී එය සමථයකට පත්කර ඇති බවද වාර්තාවේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වා කොටසේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව පිළිබඳව අගමැතිවරයාද පැමිණි පසුව සාකච්ඡා කර විසඳුමකට එන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත.
අජන්ත කුමාර අගලකඩ