දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය පාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (28දා) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ තිබේ.
එහිදී ජනාධිපතිවරයා රෝග ව්‍යාප්තිය පාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලූ අතර අදාළ වැඩපිළිවෙළ සඳහා මුදල් ප්‍රතිපාදන නිසි ලෙස ලබාදීමටත් අවශ්‍ය හෙදියන් ඇතුළු කාර්යමණ්ඩලය රෝහල් වෙත ලබා දීමටත් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එමෙන්ම ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධවල අඩුපාඩු පවතින්නේ නම් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි අවශ්‍යතාවයක් සේ සලකා එය ලබාදීමට තමාට හැකි බවත් එසේ නොමැති නම් ඒ පිළිබඳ ලේඛනයක් කඩිනමින් ලබාදෙන ලෙසත් එය 30 වැනිදා රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට හැකි බවත් පවසා සිටියේය.
වෛරස් උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ පාසල් වසා දැමීමටද තීරණය කර තිබූ අතර මේ වන විට රෝග තත්ත්වය පාලනය හේතුවෙන් එවන් අවශ්‍යතාවක් මතු නොවන බවත් වෛරස් රෝගය පිළිබඳ සෞඛ්‍ය පරීක්ෂණ අංශය මගින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින අතර රෝගය පැතිරයාමේ අවදානමක් දැනට නොමැති බවත් එහිදී සෞඛ්‍ය බලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත්කොට තිබේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.