දකුණු වියට්නාම මුහුදේදී දකගැනීමට ලැබුණු සුන්බුන් කිහිපයක් නිසා පසුගියදා අතුරුදන්වූ මැලේසියානු ගුවන්යානය සොයමින් රටවල් රැසක් විසින් සිදුකරන මෙහෙයුම් වේගවත් කර ඇති බව වාර්තා වෙයි.
වියට්නාම ගුවන් හමුදාවට අයත් යානයක් විසින් මෙම සුන්බුන් කිහිපය නිරීක්ෂණය කර ඇති අතර, එය පුද්ගලයන් 239 දෙනෙකු සමග මීට දින දෙකකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සමාගමේ එම්.එච්.370 දරණ ගුවන් යානයේ සුන්බුන් කොටස් බවට සැක කෙරේ.
මේ අතර, මැලේසියානු ගුවන් යානයට සොරාගත් විදේශ ගමන් බලපත් යොදා ගනිමින් ගොඩ වී ඇති දෙදෙනා එකම වෙලාවේදී ගුවන් ටිකට් පත් ලබාගෙන ඇති බවත්, ඔවුන් දෙදෙනා හඳුනා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඊයේ දිනයේදී වාර්තා විය.
එමෙන්ම, අතුරුදන් වී තිබෙන මැලේසියානු ගුවන් යානයෙන් අවසන් වරට ලැබුණු රේඩාර් සංඥාවලට අනුව යානය ආපසු හැරවීමක් සිදු කර ඇති බවට මැලේසියානු බලධාරීහු සැක පහළ කරන අතර, මීට ත්රස්ත ප්රහාරයක් එල්ල වූයේදැයි යන සැකය ඒ තුළින් මතුව තිබේ.
කෙසේ වෙතත් මේ වනවිටත් යානය සොයා සිදු කෙරෙන ඒකාබද්ධ මෙහෙයුම් තව දුරටත් පුළුල් කර ඇති අතර, ඒ වෙනුවෙන් ගුවන් යානා 34ක් සහ නැව් 40ක් යොදවා ඇති බව වාර්තා වෙයි.