මතුගම, ඕවිටිගල, බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරණ ලද අවුකන පිළිම වහන්සේගේ අනුරුව රැගත් දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණි.
අඩි 135 ක් උසින් යුත් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කර තිබේ.
බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කරමින් එය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කිරිම ජනාධිපතිවරයා අතින් සිදු විය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යහපත් සමාජයක පදනම ගොඩනැගෙන්නේ බෞද්ධ දර්ශනය මත බවයි. අද ලෝකයේ බොහෝ ක්ෂේත්රවල විශේෂඥයින් පවා බුදු දහම සොයා එන තත්ත්වයට පත්ව ඇත්තේ එහි වටිනාකම මැනවින් අවබෝධ කරගෙන සිටින නිසා බව ද සඳහන් කළේය.
ධර්මය රකින්නා ධර්මයෙන් ආරක්ෂා වන බව සඳහන් බුදු වදන නිතර සිහියේ තබා ගනිමින් බෞද්ධ දර්ශනය අනුව තම ජීවිත හැඩගස්වා ගැනීමට සියලූදෙනා කටයුතු කළයුතු බව ද මෙහිදී සිහිපත් කළේය.
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, අර්ජුන රණතුංග, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය යන මහත්වරුන් ද ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.